Sunday, November 30, 2014

෴ ඇයත් සාගරිකාම විය ( පළමුවන දිගහැරුම ) ෴



පලමුවන වේදිකාවේ නවතා ඇති සාගරිකා සීග්‍රග්‍රාමී දුම්රිය දැන් ගාල්ල සහ මාතර බලා පිටත් වේ.. දුම්රිය නවත්වන්නේ .........

වෙලාවකට මහ කන් කරච්චලයක් ... මරණ බයේ ඉන්න එකෙක් කෑ ගහනවා වගෙයි. හැමදාම හිතනවා  මේකට ලස්සන කටහඩක් තියෙන කෙල්ලෙක් දාන්න බැරි ඇයි කියලා.කොහොම වුනත් ඔරලෝසුවේ කට්ට පාමුලට තියන්  සාගරිකා අල්ලන්න  එන අපිට ඔය කටහඩත් පුදුම හයියක්.හැමදාම වගේ ඔක්කොම ජාතක කතාව මගේ ඇගටම ඔබාගෙන යන්න ඔන්න මෙන්න හිටිය සාගරිකාව යාන්තමින් අල්ලගත්තා.

මම අසේල.ගෙවල් නම් කරාපිටියේ. ඒත් කොයි වෙලේ බැලුවත් මහ පාරේ.වැඩ කරන්නේ මරදානේ.පුද්ගලික සමාගමක පරිගණක ක්‍රියාකරවන්නෙක් විදියට තමයි රස්සාව කරන්නේ.හැමදාම ඉතින් මේක තමයි අපේ ජීවිතේ.

අපේ සමහරක් උන් නම් කියන්නේ ගෙදර ගෑනිත් එක්ක බුදියනවට වඩා වෙලාවක් සාගරිකත් එක්ක බුදියනවා කියලා.ඒක්නම් ඇත්ත ඔය හවසට හැමදාම අලුත්ගම පහු උන ගමන් හැමෝම සතර පෙර නිමිති වෙනවා. නිදි විකාරේ දන්න එකෙක් ශීට් එකෙන් පොඩ්ඩක් එහාට වෙලා ලග ඉන්න එකාට සක්කයක් දෙනවා තුනේ ශීට් එකට හතරක් ඔබාගන්න.වීදුරුව පැත්තේ ඉන්න එකානම් කාටවත් නොපෙන්න ඕකට ඔරවනවා.ඒ එරවිල්ල හැමෝම දකිනවා කියලා ඌත් දන්නවා අපිත් දන්නවා.

සෙනග අස්සෙන් හිමින් සීරුවේ මම අතුලට රිංගුවා.පොල්අතුමෝදර හලාවත සුවද නොදැනුනාම නෙවෙයි.ඒත් වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන්න එපා කියලා කියනවනේ.හිමි සීරුවේ අපෙ එවුන් ඉන්න තැනට මම සේන්දු වුනා.

"ආ අසේලයා මම හිතුවේ පරක්කුවට උඹ අද කලින් යන්න ඇති කියලා" 
"නෑ බං අද වැඩ ගොඩ ගැහිලා .. මෙහෙමවත් එන්න පුළුවන් වෙයි කියලා මම හිතුවෙම නෑ"
"මල්ලි අද උදේ දැක්කේ නෑ නේ" ඒ සිතාරා අක්කා.

වයසින් තිස්පහක් විතර වුනත් තාමත් කෙල්ල වගේ.වෙලාවකට  මට හිතෙනවා ඔය මල්ලී වචනෙ අතරේ අමුතු ගුප්ත කමක් තියෙනවදෝ කියලා.එක්කෝ ඇයි අහක යන නයි රෙද්ද අස්සේ දා ගන්නේ.පාඩුවේ ඉන්නවා මගේ හිත මටම කිව්වා.

"නෑ අක්කේ අද උදේ එද්දී ටිකක් පරක්කු වුනා.... කොහෙද වෙලාවටම ඇදලනේ.ඒ පාර මම බස් එකේ ආවා" උත්තරය සම්පූර්ණ කරලා හිමීට ශේප් වුනා.

දුවන් ඇවිත් මූන පුරා දාඩිය.ඒක දැක්කෙත් දාඩිය බිංදුවක් නලල දිගේ රූටලා නිකටෙන් සමනලීගේ බෑග් එකට වැටෙනව දැක්කම.ඒකි  දැක්කනම් අහගන්න තිබ්බා සුද්ද සිංහලෙන්.හිමින් සීරුවේ සාක්කුවට අත දැම්මා ලෙන්සුව ගන්න,ලේන්සුවත් එක්ක තව මොකක්දෝ අහුවුන නිසා ලේන්සුව තියෙද්දී ආගන්තුක දේ එලියට ඇද්දා.හතරට නවපු සුදු කොලයක්.

ඊයේ රෑ ලිව්ව සටහනක් එහෙමම සාක්කුවට ඔබාගෙන.මේ දවස් වල වැහි අදුර හැම වෙලේම, හෝදපු සරම තෙත නිසා නිදාගන්නකල් අදන් ආපු කලිසම පිටින් හිටියේ. වෙච්ච වින්නැහිය එකින් එකට මතකෙට ආවේ පෙරදා අමතක කරපු සිද්දි ටිකක් එලියට නොගෙන තවත් ඈතට පා කරලා යවමින්.

කොහොම වුනත් සෙනග අස්සේ ඔය කඩදහි අදින්න බැරි නිසා මම ඒක එහෙමම සාකුවට ඔබා ගත්තා. ඒත් ඒ කොලය මගේ, වචන මගේ පෙරදා රෑ වෙදනාව මගේ හිතේ දෝංකාර දෙන්න පටන් ගත්තා.හිතට කිසිම අස්වැසිල්ලක් නෑ  අවසන් මොහොතේ අතේ වෙව්ලිල්ලට කොලේ පුරා ගිය පෑන් තුඩ ලිව්ව අන්තිම වචන පේලිය මගෙ හිතට තදින්ම කා වැදුනා.

"තාරකා..... ඔයාගේ ඉස්සරහා සුරංගනා ලෝකයක් මැව්වේ නැතුවට , මම ඔයාව ඇත්ත ලෝකේ ජීවත් කලා.වචන කියන්නේ ආදරය නොවුනට මිනිස්සු යට වෙන්නෙත් ඔය වචන වලටමයි......... "

ආයෙත් සමනලීගේ මල්ල කදුලින් තෙත් කරන්න අකමැති නිසා හනිකට ලේන්සුව එලියට ගත්තා.ලේන්සුව අරන් මූන පිසදාලා සක්කුවට ඔබද්දී මේ මගේ ලෙන්සුවමදැයි මටත් සැකයක් ආවා.මේ හැමෝම අතරේ  මුකුත් නොදන්න සාගරිකා හුස්මක වේගෙන් යකඩ පීලි  මතින් හැමදාම ඉදිරියටම ගියා.

මතු සම්බන්ධයි......

Friday, November 28, 2014

වෙනස් නොවෙනා ලෝකයේ....





නිහඩ නිසසල පාළු මැකු නුඹ 
ඇතැර ගිය දා වසන්තේ.........
සුවද මදනල හමා ගොස් ඇත 
දුරක් නොපෙනෙන අනන්තේ.......
සතුට මිස මම කිසිත් නොපතමි
 යනෙන ගමනට ඔයාගේ...........
වෙනස් වීමයි එකම දේ හැම 
වෙනස් නොවෙනා ලෝකයේ........

-- ල් --