Thursday, October 6, 2011
කිමද නිල් නෙතු නෙත් දෑලෙන් සමුගත්තේ...?
මා පාළු හුදෙකලා වූ නිමක් නොපෙනෙනා ගංතෙරක් අසබඩ අනන්තය සේ මාවතක පිය මැන්නෙමි.ඒ යන ගමනේදී විඩාබර මගේ නෙත් ඉදිරියට ආ නුඹේ නෙතු මාගේ සේයා පථයෙන් ඉවත්වන්නට මැලි විය.ඔබේ නෙතින් නික්මුනු ඒ සෙනෙහෙබර ආදර කිරණයන් මා නෙතු මතට ලම්භකව වැටුනා සේ මට හැගිනි.කෙසේ හෝ ඇයගේ දෘෂ්ටි කෝණයට මා නෙත් අවනත විය.ඒ බැල්මේ වශී වූ මා නෙතේ වර්තනාංකය අතිශය ඉහල වූ නිසාමදෝ ඈ නෙතින් නික්මුනු ඒ ආදරණීය කිරණයන් ඇස මතින් හද දක්වාම අපසාරී විය.එය සදාකාලික නවාතැන්පලක් කර ගැනීමට ඒ අහිංසක නෙත් යුගලට හැකි විය.එය හා බැදීමක් ඇති වන්නට මා නෙත් වලට ගත වූයේ නොබෝ කලකි.ආඩම්බරකාර ඒ දෑස් කැල්මට දිනෙන් දින මා ළං විය.කිමක්ද නෙතකි මා හට මේ පවසන දෙය? මා නැවත වරක් ඇයගේ ඒ නෙතු දිහා සෘජුවම බැලීමි.හදවත කිතිකැවී යන්නා සේ මට දැනුනි.මා තව තවත් ඇයට ලං විය.ඇයගේ කළු ඉංගිරියාව තුලින් මට මාගේ ප්‍රතිභිම්බය දිස්වන්නට විය.පුදුමයක අරුම ඈ නෙතු මා හට දැන් කැඩපතක් වී ඇත.මාගේ ජීවිතය ඒ කැඩපතෙන් දිනෙන් දින පෙනෙන්නට විය.ජීවන ගමනේ හැරෙන්නට වූ තැන මම ඒ නෙතින් පාර සොයා ගත්තෙමි.සෑම විටම එය නිවැරදි විය.අහිංසක බලාපොරොත්තු මහ මෙරක් උසට එසැවිනි.
නමුත් නෙතක අරුමය.......
එදා වැසිබර දිනයකි,කන් බිහිරි කරවන තරම් ආකාශ ගිගුරුම් මධ්‍යයේ මා ඇයගේ නෙත් දෙස බැලීමි.එය වෙනදා මෙන් නොව බොදවූ සේ මා හට දිස් විය.මා,මා නෙතු වසා කිහිප වරක් එය දෙස බැලීමි.කිමද වූයේ ඒ නෙතු හට ,වැහි බිංදු ගලා යන්නේ ඒ නෙතු මතින් නිසාමදෝ ඒ කැඩපත අද බොදවී ගොස්ය මා හදේ දුක් ගිනි පුපුරක් පැන නැගිනි.ඇසි දිය නිසාමදෝ එය ක්ෂණයෙන් නිවී ගියේය.ඒ නෙතු මා නෙතින් ඈතට යනු මට හැගුනි..මා එයට කෙසේ ලං වුවත් දිනෙන් දින එය මාගෙන් දුරස් විය.මට දැඩි කාන්සියක් හා පාළුවක් දැනිනි.මා නෙතු වසා ගත්තේ එය දැඩිව විඩාබර හෙයිනි මන්ද යත්,ඔබට ආදරය කරන්නට ඒවා සැමදා ඇරී තිබූ හෙයිනි..ඔය නෙතින් මා රුව සැමදා දුටිමි,ඔබද ඔබ රුව මා නෙතින් දුටු බව මා හොදාකාරවම දනී.අතීතය මතක් වූ හෙයින් ඉවසාගත නොහැකි වූ මා නෙතු වැසී ගියේය....වසාගත් කල්හි දිය බිදු ගොන්නක් ඇසිපිය දිගේ නෙතු අද්දරින් පහළට වැක්කෙරිනි.සැබවින්ම නෙතේ සියල්ල එයින් දියවුනා සේ මට හැගුනි.ඈත ක්ෂිතිජයේ හිරු ගිලී යන්නා සේ...සක්වල ගල පරදන්නට දිය රල ගල් කුළු මත හැපී බිදී යන්නා සේ....කදුළු ගංතෙරක් මා හද මවා,එහි හබල අහිමි තොටියා මා කරවා.......... කිමද නිල් නෙතු ඔබ මගේ නෙත් දෑලෙන් සමුගත්තේ...?
Labels:
ආදරය
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මතක සටහනක් අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා........