Sunday, June 24, 2012

පොරපොල් ගහනවා කියන්නේ මෙන්න මේකයි......




පොර පොල් ගැසීම.....අහලා ඇතිනේ ඔයාලා ඒ ගැන..ඒත් යාළුවනේ මේ කාලේ නම් හරි අඩුයි ඔය ක්‍රීඩාව දැක ගන්න.කොහොම කොහොම හරි දැකලා තියෙනවනම් ඔය සෙල්ලම, මේවා ගැනත් දන්නවද බලන්න..දන්නේ නැත්නම් ඒත් බලන්න....

පොර පොල් ගැසීම යන ජන ක්‍රීඩාවේ  මූලික් උපත්ති ප්‍රභවය වන්නේ ගම්මඩු කියන ශාන්තිකර්මය...ගම්මඩු ශාන්තිකර්මය ගැන ඉදිරියට සවිස්තර ලිපියක් දාන්නම් යාළු.දැනට මෙහෙම මතක තියා ගන්නකෝ..ගම්මඩු ශාන්තිකර්මය කියන්නේ පහතරට නර්තන සම්ප්‍රදායේ දෙවියන් ඇදහීම මුල් කොටගෙන පවත්වනු ලබන ප්‍රධානතම ශාන්තිකර්මය...

හරි ඉතින් ඔය ශාන්තිකර්මයේදී ජන ක්‍රීඩා බොහෝමයක් ඒකට සම්බන්ධ වෙනවා .ඒ අතර පොරපොල් ගැසීම/අංකෙලිය මූලික තැනක් ගන්නවා.ශාන්තිකර්මයට කප් සිටුවා මූලික වතාවත් සිදුකර දින නියම කරගත් පසුව මෙම ක්‍රීඩා පවත්වනු ලබනවා.මේවා පත්තිනි මෑනියන් වෙනුවෙන් කරන පුද පූජා ගොන්නට වැටෙනවා.අනික් යාළු මේවා ක්‍රීඩා වුනත් මෙහි මූලික ලක්ෂණය විනෝදයම වඩා පූජා වත්පිලිවෙත් වලට මුල් තැන දීමයි...

හරි අපි දැන් බලමු මොකක්ද මේ පොරපොල් ගැසීම ගැන

පොරපොල් ගැසීම කිව්වම තේරනවනේ මේක මේ පොල් යොදාගෙන කරන වැඩක් කියලා...ඉතින් මේ සදහා ගන්නා පොල් යහනේ තියලා සුවද දුම් අල්ලලා පත්තිනි දේවිය වෙනුවෙන් කන්නලව් කරලා අවසර ලබා ගත යුතු වෙනවා.ඉතින් මේ පොල් පොරපොල් පිටියට ගේන්නේ කහ දියරෙන් සෝදලා හොදට පිරිසිදු කරගෙන.(අද නම් ඉතින් එහෙමද දන්නේ නෑ).මේ විදියට පොල් දෙවියන් වෙනුවෙන් පේ කිරීම  විශේෂ කටයුත්තක් වන අතර ඒ කාර්යයට ගම්මඩු ශාන්තිකර්මයේම  ඉන්නා කපුපත්තිනි වරුන් සහභාගි වෙනවා.හැබැයි විශේෂත්වය වන්නේ ඔවුන් පොරපොල් ගැසීමට සහභාගී වෙන්නේ නෑ.

ඔයාලා දන්නවද? මේ ක්‍රීඩාව වෙනුවෙන්ම  රටේ සෑම තැනින්ම ශිල්පීන් ගෙන්වා ගෙන ගම් මට්ටමේ ඉන්න අය හා මිශ්‍රව ක්‍රීඩාවට යොදවනවා.මොකද ඒ තරමට මේ සදහා උනන්දුයි.ගොඩාක් දුරට මාතර ප්‍රදේශයෙන් තමයි මේ අය ගෙන්වා ගන්නේ..ඇයි තව කටුව හයිය පොල් ඒවත් ගෙන්නේ මාතරින් මලු.මේ කටුව හයිය පොල් කල් තබා සූදානම් කර ගන්නවා කියලයි කිය වෙන්නේ.තවද මේ ආකාරයට මේ ශාන්තිකර්මයට හොද පොල් ගන්නා විශේෂිත පොල් ගස් පවා ඇති අතර දුර බැහැරින් පවා ඒවා ගෙන්වා ගන්න වලු.කෝමද තියෙන උනන්දුව...

දැන් බලමු මේ ක්‍රීඩාවේ යෙදෙන අයුරු....

මෙහීදී උඩුපිල හා යටිපිල ලෙස ගමේ ඉන්නවුන් දෙකකට බෙදෙනවා.තවත් දෙයක් ක්‍රීඩා නොකරන අය පොල් ලබා දීමෙන් හෝ සහභාගී වී ක්‍රීඩකයන් දිරිමත් කිරීමෙන් මේ අවස්ථාවට සහභාගී වෙනවා.පොරපොල් ගැසීම ආරම්භයේදී උඩුපිල හා යටිපිලට සමාන පොල් සංඛ්‍යාවක්  තියෙනවා.තරමක් ඈත්වී දෙපිලම දෙපේලියකට සිටින අතර එක් පිලක අය තම අත රැදි පොල් ගෙඩිය ගුවනේ පා කර එවනවා.එහිදී අනික් පිලේ ක්‍රීඩකයා තම අත රැදි පොල් ගෙඩියේ මූණතින් එම එන පොල් ගෙඩියට ගසා බිද දැමිය යුතුයි..පොල් ගෙඩිය බිදුනු පිල පරාජයට පත් වෙනවා.එවිට අනෙක් පිල වෙත් තමන්ගේ පිලෙන් පොල් ගෙඩියක් ලබා දෙන්නටත් ඔවුන්ට සිදු වෙනවා. 

එතකොට දෙකම එක සැරේ බිදුනොත්......කොහොමද වැඩේ ආ...එහෙම වුනොත් යාළුවනේ අයේ මුල් පිලෙන්ම පොල් ගෙඩියක් එවනවා ඒ කියන්නේ කලින් වටය අමතක කරලා ආයේ අළුතෙන් පටන් ගන්නවා වගේ  වැඩක්.

මේ බලන්න යාළු මෙහෙම ගුවනේ පා කරලා එවන පොලය උඩ පොලය වශයෙන්ද..අතේ රදවා ගන්නා පොලය අත් පොලය ලෙසද සලකනවා.ගොඩාක් වෙලාවට උඩු පොලය තමයි බිදීමට ලක් වන්නේ .ඒත් හරියම පහර දීමට බැරි වුනොත් යටි පොලයත් බිදෙන අවස්ථා එමටයි.ඔයාලා දන්නවද? සමහර ක්‍රීඩකයින් ගුවනේ එන පොලයට එල්ලය මානා අත් පොලය විසි කර පවා උඩුපොලය බිදීමට සමත්කම් දක්වනවා.පාරම්පරික අත්දැකීම් තමයි එව්වා..


දෙපිලෙන් එක පැත්තක පොල් බිදී අවසන් වුනාම තරගය නිමා වෙනවා.මේ ක්‍රීඩාව දින තුනක් පැවැත්වෙන අතර උඩුපිල හා යටිපිල කන්ඩායම් දෙකෙන් යටිපිල දිනීම සුභ ලක්ෂණයක් ලෙස ගම්මුන් සලකනවා.
ඉතින් මේ ආකාරයට දැඩි ආගමික භක්තියෙන් කරන නිසා මේ ක්‍රීඩාව දෙවියන් වෙනුවෙන්ම කරන ක්‍රීඩාවක් වෙලා.ඇයි පොර පොල් ගැසීමෙන් පසුව ගමවටා පෙරහැරින් ගොස් ගමටත් සියළුම ගම් වාසීන්ටත් සෙත් පැතීමක් සිදු කරනවා...

ඕං එහෙනම් පොර පොලුත් ගැහුවා නේ.....කාලෙක ඉදලා ලියන්න ඉදපු එකක් වෙලාව ආවේ දැන් යාළු.කොහොම වුනත් ස්තූති කරන්න ඕන ඥානසිරි පීරිස් කියන ඇදුරානන්ට මේ කරුනු ගොඩාක් මමත් දැන ගත්තේ එතුමන්ගේ ශාන්තිකර්ම සහ අභිචාර විධි කියන ග්‍රන්ථයෙන්.ඉතින් ආයෙමත් ඉක්මනින් හම්බවෙමු ජය වේවා!!

Thursday, June 21, 2012

කදුළු........





අද අඩන්න මට බෑ
මොකද මම ඊයෙත් අඩපු නිසා.....
නුඹටත් අද අඩන්න බෑ
මොකද නුඹේ කදුළුත් අරන් මම අඩපු නිසා.....

Friday, June 15, 2012

ගණේෂ් ගේ හෙට......




ඔන්න කස්ටියට කලින් කතාවක ඉතුරු කෑල්ලත් අරන් අද ආවා....පරක්කු වුනාට කමා කරත්වා!

මෙන්න මේකයි මතකද කලින් කතාව  අර විශ්නු දෙවියන් බට කොල කාපු කතාව මතක  නැත්නම්  කියවලම එන්නකෝ...

අද මෙන්න මේකයි වැඩේ..... ඉතින් ඔන්න විශ්නුගේ සෙනසුරු අපලය ඉවර වෙද්දී   ගණේෂ් ට ඒක ලබන්නට කාලය පැමිනුනා....ඒ කිව්වේ ගණ දෙවියන්ට.දන්නවනේ ඉතින් ඒ මොලේ තරම මතක ඇතිනේ.....අයියට වල්ලි අම්මා සෙට් කරලා දුන්න හැටි.....හරි අද මම කියන්න යන්නේ මේ හෙනහුරු අපලෙන් ගණේෂ් බේරුන හැටි....

ඉතින් සෙනසුරු අපලය ලග ලගම තමන්ට එන බව දැන ගත් ගණ දෙවියන් ඉන් බේරීමට මගක් සොයන්නට වුනා...කෙමෙන් කෙමෙන් කාලය ගෙවුනා .....ඔන්න ඉතින් අවසාන දිනය ලංවුනා ඒ කිව්වේ ඕං හෙට තමයි ගණ දෙවියන්ට සෙනසුරා ලබන්නේ ....ඉතින් මේක ගැන කල්පනා කල ගණ දෙවියන් අවසානයේ හදිසි තීරණයක් ගත්තා.ආයේ හෝදන්න දෙයක් නෑ මොකක් හරි උප්පර වැට්ටියක් වෙන්න ඇති..

ඒ මොකක්ද දන්නවද?

ඒ තමයි  තම දේව මන්දිරේ විශාල සාදයක් පවත්වන එක.කොහොමින් කොහොම හරි දේව සභාවේ සියල්ලටම ඇරයුම් පත් පිටත් කරලා...ඔහු සාදයට සූදානම් වුනා...අති සුවිශේෂි අන්දමින් සාදය පිලිවෙල වුනා.ඉතින් ඒ අපූරු දිනය උදා වුනා ගණේෂ් හොදට ඇද පැලද ගෙන තම සාදයට සහභාගී වන්නට ගියා....ඇත්තටම සේරම දේව පිරිවරයන් ඒකට ඇවිත් තිබුනා මොකද දන්නවද යාළුවනේ  ගණ දෙවියන් කියන්නේ හරිම සුහදශීලි කෙනෙක්..ඉතින් බලන්නකෝ අනික් වැඩේ...

සෙනසුරත් උදේ පාන්දරම අවදි වෙලා ගණ දෙවියන් මුණ ගැහෙන්න එන්න බලන් පිටත් වුනා....තමාගේ අපලය පූජා කිරීමට සෙනසුරු ඉක්මනින්ම ගණ මන්දිරයට සැපත් වුනා..

ඔහුට අදහාගන්න බැරි වුනා ....අනික් අය තම අපලයට බියෙන් සැගවෙද්දී ගණ දෙවියන් සාද සමරනවා....හැමෝම අමෘතය බොනවා නාටිකාවන් රග දෙනවා එතන මගුල් සක්වලක්....ඔන්න ඒ අතරේ සෙනසුරු දැක්කා දෙවියන් පිරිසක් වට කරගෙන කතා බහක ඉන්නා ගණේෂ්ව...

ඔහු හිමීය ඒ දිහාට කිට්ටු වුනා සෙනසුරු දැක්ක විගස අනෙක් අය තුල තිගැස්මක් ඇති වුවත් ගණ දෙවියන් තුල නම් එහෙම එකක් තිබුනේ නෑ..සෙනසුරු කට හඩ අවදිකලා...

"ගණේෂ්  ඔබට අද දිනය මතකයි නේද?"

"එහෙම අමතක වෙනවද? මේ හදිසියේ එන්න ඇත්තේ මට තෑගි දෙන්නනේ.."

"ඔව් ඔව් නුඹට සුවිශෙෂී වරයක්." සෙනසුරු  කින්ඩියට කිව්වා

"ඉතින් කියමු බලන්න"

"අද තමයි නුඹට මගේ අපල චක්‍රය පිහිටන්නේ"

"හම් මම දන්නවා ඒත් එක ඉල්ලීමක් තියෙනවා මගෙන්"

"කියමු බලන්න"

"අද වගේ සතුටු දවසක් නැති කරගන්න මම කැමති නෑ... ඒ නිසා ඔය කියන අපලය එක් දිනක් කල් දාලා දෙන්න"

"එහෙම කිරීමට නුපුළුවන ගණේෂ් ඇයි තා එහෙම ඉල්ලීමක් කරනුයේ"

"නෑ සාදයේ වැඩ කටයුතු ඉවර වෙද්දී රැය පහන් වෙන නිසා"

"හරි මම එහෙනම් හෙට එන්නම් .....ආයේ නම් පස්සට බෑ නොවරදවාම ලේස්ති වෙලා ඉන්න"

"ගණේෂ්........"  සෙනසුරු ආයේ හැරුනා......

"ඇයි"

"මට තා අවිශ්වාසයි."

"ඇයි ඒ??"

"මම දන්නවා නුඹ කපටියා කියලා ....කොහොමද මම පිලි ගන්නේ නුඹ මට හෙට එන්න කිව්වා කියලා....කියමු බලන්න.."

ගණ දෙවියන් ටිකක් කල්පනා කලා.තමා සිතා සිටි පරිදිම සියල්ල සිදූවූ වා යැයි ඔහුට හිතුනා.

"නුඹට මම පොරොන්දු වෙන්නම්"

"හා හා හා නුඹේ කට වචනෙට මම රැවටෙන්න....හිතුවද මම මෝඩයෙක් කියලා"

"හරි නුඹ සටහනක් තියලා යන්න නුඹේ අපලය හෙට කියලා"

"හම් හම් ඒකත් නරකම නෑ. දැන් කොහේද ඕක තියන්නේ නොමැකෙන තැනක් වෙන්න ඕනි.."

"හරි නුඹ මගේ උදරයේ (බඩේ) එය දක්වන්න..." ගන දෙවියන් කිව්වා...

දන්නවනේ මගේ යාළුවෝ ගණ දෙවියන්ට ටිකක් විශාල උදරයක් තියෙනවා .ඉතින් කතා කරගත් පිරිදි සෙනසුරු තම නියපොත්තෙන් ගණේෂ්ගේ උදරය මත පැහැදිලි අකුරින් අපලය හෙට කියලා ලිව්වා....
සියල්ල අවසානයේ හැමෝම නික්ම ගියා.ඔයාලා දන්නවනේ දේව පොරොන්දු ආයේ තනි වචනෙම තමයි කිව්වොත් කිව්වා ....




ඉතින් අදාල දිනයේ සෙනසුරු නැවත පැමිණියා

"ගණේෂ්......"

"ආ .....හදිසියෙම"

"මොකද අදත් මග හරින්නද හදන්නේ"

"මොනවද සෙනසුරු මග හැරියේ"

"ඇයි ඊයේ කිව්වේ අපලය අරන් හෙට එන්න කියලා"

"ඇත්තද ? ඉතින් කෝ සාක්ෂි"

"තමුන්ගේ බඩේ බැලුවනම්....."සෙනසුරු කෝපයෙන් කිව්වා.

ගණ දෙවියන් තම බඩ දිහා බැලුවා රවුම් අකුරින් මෙහෙම ලියා තියෙනවා.......

සෙනසුරු අපලය හෙට

"අයියෝ ඒක හෙටනේ ඇයි ඔබ අද ආවේ.....යන්න යන්න ගිහින් හෙට එන්න"

ඉතින් යාළු තේරනවනේ වෙච්චි දේ...ඔන්න ඔහොම අපලය යනකන්ම සෙනසුරුට හෙට කියන දවසේ එන්න වුනාලු ඒ හින්දා කවුරු හරි හෙට කිවුවොත් ඒ ගැන දෙපාරක් හිතන්න


Thursday, June 7, 2012

තනිකම.......




ඇත්තටම හිතෙනවා....
අව්වට වැස්සට .....
ඉහලන්න
මටත් කුඩයක් තිබුනා නම්.............
කියලා.....




Wednesday, May 30, 2012

සරුංගලය......





මතකද එදා හැන්දෑවේ....
එකම එක සරුංගලයක් 
එක නූලෙන් අල්ලගෙන හිටිය හැටි...
සරුංගලය වගේ නේද? අපේ පැතුම්...
ගොඩාක් උඩින් තිබුනේ
හිටපු ගමන් ආව රළු කෝඩයකට
ඒවා නොසෙල්වුනාම නෙවේ......


පුංචි හරි තිගැස්මක් ආවම
ඔයා මගේ අත තද කරගත්තා....
ඔව් සරුංගලය වගේම ඒ පැතුම්
මම ඊයෙත් අදත් හෙටත් රකිනවා හැමදාටම......


ඇයි මතක නැද්ද .....
අපි දිහා බලා ඉදිය චූටියෙක් කිව්වා
සරුංගලයට උඩ යන්න නූල කරදරයක් කියලා....
අනේ එහෙමයි කියලා 
මටත් හිතුන වෙලාවල් තිබ්බා.....
ඒත් සරුංගලය උඩ තියෙන්නේ
නූලෙන් කියල ඔයා මට කියලා දුන්නා....


ඉතින් ඒ අහිංසක පැතුම් ගොන්නට
ඔයාගෙත් මගෙත් දෙහිතම ඕනි.....
හැමදාටම.....
ඇයි දන්නවද?
ඒවා අපි දෙන්නගෙම නිසා...
එන හැමදේටම මූණ දෙමු....
ඔයා මගේ ලග නම් මට ඕන කුණාටුවක්.....


Monday, May 28, 2012

හිතුවක්කාරකම්........








“ඔයා හරි හිතුවක්කාරයි......“
මතකද එදා මම කිව්වා
ඔය සුසුදු මුවගින් අල්ලා.....
හිතුවෙවත් නැති විදියට
ඒ අහිංසක හිතුවක්කාරකම
අද මටම නපුරක් වෙලා....
ගොඩාරියක් ඔයාටවත් නොදැනෙන තරම්........


Monday, May 14, 2012

ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව ලැබේවා!!



ඇත්තටම සොදුරු මිනිස්සුන්ගේ ජීවිත හරි කෙටි කියන කතාව ඇත්තක් කියලා මේ වෙලාවට තමයි තේරෙන්නේ.ජීවිතේ කියන්නේ ඕකට තමා ඉතින්...කොහොම වුනත් අපේ ආදරණීය මාමා සයිබරයෙන් විතරක් නෙමේ අපි හැමෝම දාලා ලොකු ගමනක් ගිහින්....මට නම් මාමා ගැන ලොකු දෙයක් කියන්න තරම් අයිතියක් නෑ මොකද  බ්ලොග් ලිවිල්ල කල්පයටත් අළුත් නිසා..ඇත්තටම මම මාමා ගැන ලිව්වට මාමා මගේ එක පොස්ටුවක් වත් කියවලා නෑ....ඒත් ඒ ආදරණීය සහෘදයා කියපු එක දෙයක් තාමත් කල්ප ගේ හිතේ ඇදිලා තියෙනවා......

ඔබා මාමා කියන කෙනා මට හමුවන්නේ මුලින්ම සයිබරයෙන් ලස්සන පෝස්ට් එකක් කියවද්දී .එදා ඉදලා එතුමන්ගේ අඩවියේ පල වූ රස බර අත්දැකීම් ඒ රස කතා අපි බොක්කෙන්ම රස වින්දා....කොහොම කොහොම හරි සයිබර් උලෙලේදී තමා එතුමන් මට මුලින්ම මුන ගැහුනේ..පැත්තකට වෙලා මධුවිත පොඩ්ඩක් තොල ගගා ඉදිය මාමා දිහාවට ස්වායක්තයි අරුණැල්ලයි එක්ක කල්පයා සේන්දු වුනා..උන් දෙන්නා නම් කිව්ව ගමන් අදුන ගත්තා.

"මා‍මේ... මම කල්ප"
"ආ කොහොමද පුතා......."
එතුමන් කෙලින්ම බැලුවේ අපි එදා එල්ලන් ඉදපු ටැග් එක දිහා...
“වැහි පොදක් ....ම් ම් ම් ම්   කියවන්න හම්බවෙලා නම් නෑ පුතේ අද ගිහින් අනිවාර්යෙන්ම කියවන්නම් " මාමා සුපුරුදු හිනාව දාන ගමන් කිව්වා....

ඉතින් ගොඩාක් වෙලා කතා කර කර ඉදලා එතුමන්ගේ ලගින් එද්දී අන්තිමට කියනවා .

"වැහි පොදක් අද බලන්නම් ආ....."

ඉතින් බ්ලොග් ඉතිහාසයේ සොදුරු අද්විතීය එවන් පුද්ගලයෙකුගෙන් එසේ ඇසීමම කල්පට ලොකු කික් එකක් වුනා...ඒත් එදා ඒ අව්‍යාජ හිනාවෙන් මූණ පුරෝගෙන ඉදිය  ඒ මනුස්සයා දකින්න ලැබුන අන්තිම වතාව ඒක වෙයි කියලා කල්ප හීනෙන් වත් හිතුවේ නෑ.....

ඇත්තමට පුදුමයි එතුමන් මට මුනගැසුනු ප්‍රථම සහ අනතිම වතාව ඒ අවස්ථාව  වීම....කොහොම වුනත් ඔබා මාමේ ඔබතුමන් මම දැන ගත්තු කාලෙට සයිබරයේ බ්ලොග් සටහන් අතරේ හොද කකුලක්....බොක්කෙන්ම හිත පිරිසිදු හොද මනුස්සයෙක්......

ඉතින් මට හිතෙන විදියට ජීවිතේ විදිපු කෙනෙක්.....ඉතින් සනත් විජේවර්ධන ආදරණීය සහෘදයානෙනි අප සැවෙම එක සිතින් ඔබට ප්‍රාර්ථනා කරන්නේ නිවන් සුවයි....යනෙනා තැනක සතුටින් කල් ගෙවන්න ලැබේවා......මෙසේ ඔබ අප හැර ගියත් හැමදාම අපේ බ්ලොග් පිටු අතරේ ඔබා මාමා යන නම සදාකල් පවතීවී.........

සදක් ලෙස පෑයුවා ඔබ අදුරු අහසට
මලක් ලෙස සුවද කලා ඔබ සයිබරයම
පහන ලෙස එලි කලා නුඹ අදුරු කැඩපත
විලක් ලෙස නැවතුනා නුඹ සියපතක් යට