Wednesday, September 26, 2012

හැපි බර්ත්ඩේ ටූ යූ.....!! අවුරුද්දක් වැස්සේ තෙමීමි.....





               කොහොමද ඔයාලට.....හැමෝම සතුටින් ඇති ...ටික කලක් නිවාඩු අරන් වගේ ඉදලා වැහි පොදට ආයෙම ගොඩවුනා.මේකනේ සහෝ වැලේ වැල් නැති කල්පයත් මොනා හරි දේකට පාර හදාගන්න එපැයි.කොහෙද ඉස්කෝලේ ගිය ටිකෙත් කරත් කලේ මෙලෝ රහක් නැති වැඩ.ඉතින් කෝම හරි අන්තිමේ හිතේ සතුටින් වැඩ කරන්න පුවවන් පාරක් සොයා ගත්තා.ඉතින් හා හා පුරා කියලා ඒකේ අධ්‍යාපන කටයුතු වල හිරවෙලයි උන්නේ.ඒ විත්ති වැඩක් නෑ.

 ඔන්න මම අද උඹලට ලොකු කෙක් ගෙඩියක් අරගෙනමයි ආවේ.2011 අවුරුද්දේ අද වගේ දිනයක තමයි මම ඉපදුනේ...නෑ නෑ කල්පයා මේ බ්ලොග් කෙරුවාවට අත්පොත් තිව්වේ.ඒ කියන්නේ මචං වැහිපොදේ කුළුදුලේ උපන්දිනය අද.බ්ලොගය වගේම තමයි කල්පත් තාම පොඩි කොල්ලා.ඉතින් කොම්පීතරයත් එක්ක කාලයක් ඔට්ටු ඇල්ලුවට මේ බ්ලොග් කෙරුවාව ඇත්තටම මම දැනං හිටියෙ නෑ.හැබැයි මතකයි කලකට ඉස්සෙල්ලා මේ වගේ මොකක්දෝ හැදුවා කියලා...මතක නම් නෑ දැන් ඒක නිකන් ආතල් එකට හදන ඊමෙල් එකක් වගේ වෙන්න ඇති.

හරි කොහොමින් කොහොම හරි මේ වැඩේම එන්ටර් වුන හැටි කියමුකෝ.ගිය අවුරුද්දේ ඔය එක්තරා මොකක්දෝ වැඩ සටහනකින් මට අපූරු ඩයල් එකක් සෙට් වුනා.කොහොම හරි අපි හොද බොක්කක් වුනාට පස්සේ දවසක් මිනිහගේ බ්ලොගය කියවන්න මට ඉඩ ලැබුනා.අම්මට සිරි ඇත්තටම එදා හිතුනා ඇයි මටත් බැරි කියලා මෙහෙම වැඩක් කොරන්න.කියන්න අමතක වුනානේ කවුද අර ඩයල් එක කියලා.වෙන කවුරුත් නෙමේ ලට්ට ලොට්ට බ්ලොගය ලියන පොඩ්ඩා.පොඩ්ඩා කිවවට උගේ එක 18 මෙහා එකෙක්ට බලන්න බෑ.මොනා වුනත් කියවපු මුල්ම දවසේ ඉදන් මම උගේ ඒ ලට්ට ලොට්ට ගොඩට ආසා කලා.කමෙන්ට් නොකලට හැමදාම කියෙව්වා.ඇති ඇති අඩෝ මූ ගැන කිව්වට මූ මට ගානක් දෙනවැයි මොකෝ.ඉතින් පොඩී ගෙනුත් විස්තර අහන් කල්පයා අත ගැහුවා බ්ලොගයට.මුල්ම පොස්ට් දෙක තුන නම් මෙලෝ රහක් නෑ.සිරාවටම දැන් බැලුවම මමද කියලා හිතෙනවා ලිව්වේ.ඒත් ඒවා අයින් නොකරන්නේ ඒ මගේ පලවෙනි අඩි දෙක තුන නිසා...අහා කියන්න අමතක වුනානේ වැහි පොදක් කියන නම නම් හිතය ඔහේ ආපු එකක්.ෂුවර් එකටම වැස්ස දවසක වෙන්න ඇති ලියන්න ඇත්තේ .

ඉතින් ඔහොම පොස්ට් දාද්දි මාසෙකට විතර පස්සේ පලවෙනි කමෙන්ට් එක වැටුනා.ඒක දැක්කම හිතට ආව කික් එක නම් කියල නිම  කරන්න බෑ සහෝ.මට මතක  විදියට ඒක දැම්මේ සුලග ටීම් එක....ඔහොම ගෙවිලා යද්දී මාත් එක්ක ඉන්න අයත් ටික ටික වැඩි වුනා.ඒවා දකිද්දිත් හිතට ආවේ අමුතුම ගැම්මක්.මට මතකයි මගේ මුල්ම සගයෝ ටික නන්දු...තාරා...මධුරංග...දිනේෂ් අයියා...නිපූ නගා...දිනිති අක්කා..සහෝදරයා....නුවන් ...රැංගෝ...ලොකු ජෝන්....තරූගේ ලෝකය..හිතුවක්කාරි..නුවන්  ඔය වගේ සහෘදයන් ටිකක්.අනේ නම් අමතක වුනානම් සමාවෙන්න ඕන.ඉතින් ටිකෙන් ටික සහෝදර බ්ලොග් වල අභාෂයත් අරන් කල්පයා දිගටම ලිව්වා.එක එක විකාර ලියන්න ඇති.ඒත් ලියද්දී තේරුනේ මම ලියපු  පෝස්ට් වලින් වැඩිපුර පුතිචාර  ලැබුනේ දේව සාහිතයයේ ලිපි වලට  ඒ වගේම පාසල් අත්දැකීම් වලින් ලිව්ව ලිපි වලටයි. කෝම හරි දේව කතා අහන්න ආසයි කියලා දැනුන නිසා සරල විදියට මේ අවුරුද්දේ පුරාවෘත්ත පුළුවන් තරම් ලියන්න වේලාව එක්ක උත්සාහ ගන්නම්.ආ තව දෙයක් දේව සාහිත්‍යයය ලියද්දී තර්ක විතර්ක කරමින් ලිපි වලට අදහස් පල කල සැමට තුති.මොකද මමත් අළුත් දේවල් එයින් ඉගෙන ගත්තා.ඉදිරියටත් ඒක එහෙමම කරහල්ලා සහෝ මොකද සංවාදේ තියෙන තැන තමයි අළුත් දේ බිහිවන්නේ.

ඉතින් ඔය අස්සේ ගාල්ලේ ගේට්ටුවත් තිබ්බනේ.පොඩීගේ ඇරයුමෙන් මමත් ඒ පැත්තට සේන්දු වුනා.එදා තමයි බ්ලොග් කියන දේ පරාසය ගැන තේරුනේ.ඇත්තටම සුපිරි සෙට් එකක් එක එක අදහසි තියෙන විවෘතව කතා කරන එලම ගැන් එකක් එදා සෙට් වුනා.ඒ ගමනත් එක්ක වැහි පොදට යන එන පිරිස වැඩි වෙන්න ගත්තා.එදා අදුනගත්ත අය මාත් එක්ක එකතු වුනා.තව සයිබර් සිහින උලෙලදීත් ගොඩාක් අය අදුනගෙක වැහි පොදත් එක්ක එකතුවුනා...කමෙන්ට් ෆලෝවර්ස්ලා පසුපස්සේ දුවන්නේ නැතුව කල්පයා දිගටම ලිව්වා.දාන එක කමෙන්ට් එකට හරි උපරිම තෘප්තියෙන් විදින්න කල්පයට පුළුවන් වුනා.හරි ඉතින් සහෝ ඉඩ කඩ ලැබෙන සෑම වෙලේම මොනා හරි දෙයක් ඔයගොල්ලෝ වෙනුවෙන් ලියන්නයි උත්සාහ ගත්තේ..සමහර ප්‍රයන්ත සාර්ථක මෙන්ම අසාර්ථක වෙන්නත් . ඇති....ඇයි යකෝ ඇත්තටම එකක්ක දෙකක් මටම මොලෝ රහක් නෑ...ඉතින් එහෙනම් කේක් එකත් කපා ගෙනම කන්නකෝ.අළුත්ම දේව ලිපි පෙලක් ලගදීම ලියන්න පටන් ගන්නම් මචාං..

හොදද ඉතින් අවුරුද්දක් පුරාවට වැහි පොදත් එක්ක එකතු වෙලා සීතල වැහි බිංදු අතරේ ජීවිතයෙන් තත්පරයක් හරි  කැප කරලා කල්පයට ශක්තියක් වෙච්ච ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි.ආදරයෙන් ඉල්ලන්නේ කුඩයක් නැතිව එන්න වැස්සට ...දවසක් දෙකක් තෙමිලා යන්න...වැහි බිංදු අතරේ නලියන චමත්කාරය දෑසින් දකින්න හදවතින් විදින්න.බය වෙන්න එපා ලෙඩ වෙන්නේ නෑ තෙමුනා කියලා....වැහිපොද එක්ක කල්පයා එක්ක මෙතුවක් කල් රැදී සිටි ඔයාලා හැමෝටම බුදු සරණයි!!

-----කල්ප----

Sunday, September 9, 2012

ලබැදි නුඹ............




ලබැදි නුඹ පැමිණි දා
හද මඩල වෙත ආදරෙන්......
දැනුනෙ නෑ මට මගේ නොව නුඹ
කියා කෙදිනකවත්......
කදුළු සිත්තම් නෙතේ අභියස
රන්දාලා රහසින්.....
උණු කදුළු කැට ඉතිරි කර මා
නික්මුණා නුඹගෙන්.......
ලැබූ ඒ මහ මෙරක් සෙනෙහස
සසර කෙලවර තෙක්.....
රැක ගනිමි එය මගේ නෙත් මෙන්
බොහෝ සුරැකිව දැන්......
කෙසේ කියම්දෝ හැරගියත් නුඹේ
හදේ අරණින් මං....
ඔබයි සැමදා සෙනෙහෙවන්තිය
ආදරේ මට දුන්.......

Tuesday, July 31, 2012

අමතකව ගිය ඒ පැතුම..........





මැදියම් රැයක් පහන් වනතුරු .....
පෙරදාක නිදි නෙලැබ බලා ඉද......
යවන්නට පෙරුම් පිරූ ඒ සුබ පැතුම.....
වසරක ඇවෑමෙන් අද මටත් අමතකව ඇත....
ඒ පැතුමේ කවරය වෙනස් වුවත්....
එදා මෙන්ම අහිංසකයි.......
පමා වුනත් ඒ පුංචි පැතුම මට....
හැමදාම නැති වුනත් ඒ විසල් ආදරය.....
දවටලා එවන්නම් කවරයේ කොනක....
නුඹ පිලි ගත්තත් නැතත් අද........

Sunday, June 24, 2012

පොරපොල් ගහනවා කියන්නේ මෙන්න මේකයි......




පොර පොල් ගැසීම.....අහලා ඇතිනේ ඔයාලා ඒ ගැන..ඒත් යාළුවනේ මේ කාලේ නම් හරි අඩුයි ඔය ක්‍රීඩාව දැක ගන්න.කොහොම කොහොම හරි දැකලා තියෙනවනම් ඔය සෙල්ලම, මේවා ගැනත් දන්නවද බලන්න..දන්නේ නැත්නම් ඒත් බලන්න....

පොර පොල් ගැසීම යන ජන ක්‍රීඩාවේ  මූලික් උපත්ති ප්‍රභවය වන්නේ ගම්මඩු කියන ශාන්තිකර්මය...ගම්මඩු ශාන්තිකර්මය ගැන ඉදිරියට සවිස්තර ලිපියක් දාන්නම් යාළු.දැනට මෙහෙම මතක තියා ගන්නකෝ..ගම්මඩු ශාන්තිකර්මය කියන්නේ පහතරට නර්තන සම්ප්‍රදායේ දෙවියන් ඇදහීම මුල් කොටගෙන පවත්වනු ලබන ප්‍රධානතම ශාන්තිකර්මය...

හරි ඉතින් ඔය ශාන්තිකර්මයේදී ජන ක්‍රීඩා බොහෝමයක් ඒකට සම්බන්ධ වෙනවා .ඒ අතර පොරපොල් ගැසීම/අංකෙලිය මූලික තැනක් ගන්නවා.ශාන්තිකර්මයට කප් සිටුවා මූලික වතාවත් සිදුකර දින නියම කරගත් පසුව මෙම ක්‍රීඩා පවත්වනු ලබනවා.මේවා පත්තිනි මෑනියන් වෙනුවෙන් කරන පුද පූජා ගොන්නට වැටෙනවා.අනික් යාළු මේවා ක්‍රීඩා වුනත් මෙහි මූලික ලක්ෂණය විනෝදයම වඩා පූජා වත්පිලිවෙත් වලට මුල් තැන දීමයි...

හරි අපි දැන් බලමු මොකක්ද මේ පොරපොල් ගැසීම ගැන

පොරපොල් ගැසීම කිව්වම තේරනවනේ මේක මේ පොල් යොදාගෙන කරන වැඩක් කියලා...ඉතින් මේ සදහා ගන්නා පොල් යහනේ තියලා සුවද දුම් අල්ලලා පත්තිනි දේවිය වෙනුවෙන් කන්නලව් කරලා අවසර ලබා ගත යුතු වෙනවා.ඉතින් මේ පොල් පොරපොල් පිටියට ගේන්නේ කහ දියරෙන් සෝදලා හොදට පිරිසිදු කරගෙන.(අද නම් ඉතින් එහෙමද දන්නේ නෑ).මේ විදියට පොල් දෙවියන් වෙනුවෙන් පේ කිරීම  විශේෂ කටයුත්තක් වන අතර ඒ කාර්යයට ගම්මඩු ශාන්තිකර්මයේම  ඉන්නා කපුපත්තිනි වරුන් සහභාගි වෙනවා.හැබැයි විශේෂත්වය වන්නේ ඔවුන් පොරපොල් ගැසීමට සහභාගී වෙන්නේ නෑ.

ඔයාලා දන්නවද? මේ ක්‍රීඩාව වෙනුවෙන්ම  රටේ සෑම තැනින්ම ශිල්පීන් ගෙන්වා ගෙන ගම් මට්ටමේ ඉන්න අය හා මිශ්‍රව ක්‍රීඩාවට යොදවනවා.මොකද ඒ තරමට මේ සදහා උනන්දුයි.ගොඩාක් දුරට මාතර ප්‍රදේශයෙන් තමයි මේ අය ගෙන්වා ගන්නේ..ඇයි තව කටුව හයිය පොල් ඒවත් ගෙන්නේ මාතරින් මලු.මේ කටුව හයිය පොල් කල් තබා සූදානම් කර ගන්නවා කියලයි කිය වෙන්නේ.තවද මේ ආකාරයට මේ ශාන්තිකර්මයට හොද පොල් ගන්නා විශේෂිත පොල් ගස් පවා ඇති අතර දුර බැහැරින් පවා ඒවා ගෙන්වා ගන්න වලු.කෝමද තියෙන උනන්දුව...

දැන් බලමු මේ ක්‍රීඩාවේ යෙදෙන අයුරු....

මෙහීදී උඩුපිල හා යටිපිල ලෙස ගමේ ඉන්නවුන් දෙකකට බෙදෙනවා.තවත් දෙයක් ක්‍රීඩා නොකරන අය පොල් ලබා දීමෙන් හෝ සහභාගී වී ක්‍රීඩකයන් දිරිමත් කිරීමෙන් මේ අවස්ථාවට සහභාගී වෙනවා.පොරපොල් ගැසීම ආරම්භයේදී උඩුපිල හා යටිපිලට සමාන පොල් සංඛ්‍යාවක්  තියෙනවා.තරමක් ඈත්වී දෙපිලම දෙපේලියකට සිටින අතර එක් පිලක අය තම අත රැදි පොල් ගෙඩිය ගුවනේ පා කර එවනවා.එහිදී අනික් පිලේ ක්‍රීඩකයා තම අත රැදි පොල් ගෙඩියේ මූණතින් එම එන පොල් ගෙඩියට ගසා බිද දැමිය යුතුයි..පොල් ගෙඩිය බිදුනු පිල පරාජයට පත් වෙනවා.එවිට අනෙක් පිල වෙත් තමන්ගේ පිලෙන් පොල් ගෙඩියක් ලබා දෙන්නටත් ඔවුන්ට සිදු වෙනවා. 

එතකොට දෙකම එක සැරේ බිදුනොත්......කොහොමද වැඩේ ආ...එහෙම වුනොත් යාළුවනේ අයේ මුල් පිලෙන්ම පොල් ගෙඩියක් එවනවා ඒ කියන්නේ කලින් වටය අමතක කරලා ආයේ අළුතෙන් පටන් ගන්නවා වගේ  වැඩක්.

මේ බලන්න යාළු මෙහෙම ගුවනේ පා කරලා එවන පොලය උඩ පොලය වශයෙන්ද..අතේ රදවා ගන්නා පොලය අත් පොලය ලෙසද සලකනවා.ගොඩාක් වෙලාවට උඩු පොලය තමයි බිදීමට ලක් වන්නේ .ඒත් හරියම පහර දීමට බැරි වුනොත් යටි පොලයත් බිදෙන අවස්ථා එමටයි.ඔයාලා දන්නවද? සමහර ක්‍රීඩකයින් ගුවනේ එන පොලයට එල්ලය මානා අත් පොලය විසි කර පවා උඩුපොලය බිදීමට සමත්කම් දක්වනවා.පාරම්පරික අත්දැකීම් තමයි එව්වා..


දෙපිලෙන් එක පැත්තක පොල් බිදී අවසන් වුනාම තරගය නිමා වෙනවා.මේ ක්‍රීඩාව දින තුනක් පැවැත්වෙන අතර උඩුපිල හා යටිපිල කන්ඩායම් දෙකෙන් යටිපිල දිනීම සුභ ලක්ෂණයක් ලෙස ගම්මුන් සලකනවා.
ඉතින් මේ ආකාරයට දැඩි ආගමික භක්තියෙන් කරන නිසා මේ ක්‍රීඩාව දෙවියන් වෙනුවෙන්ම කරන ක්‍රීඩාවක් වෙලා.ඇයි පොර පොල් ගැසීමෙන් පසුව ගමවටා පෙරහැරින් ගොස් ගමටත් සියළුම ගම් වාසීන්ටත් සෙත් පැතීමක් සිදු කරනවා...

ඕං එහෙනම් පොර පොලුත් ගැහුවා නේ.....කාලෙක ඉදලා ලියන්න ඉදපු එකක් වෙලාව ආවේ දැන් යාළු.කොහොම වුනත් ස්තූති කරන්න ඕන ඥානසිරි පීරිස් කියන ඇදුරානන්ට මේ කරුනු ගොඩාක් මමත් දැන ගත්තේ එතුමන්ගේ ශාන්තිකර්ම සහ අභිචාර විධි කියන ග්‍රන්ථයෙන්.ඉතින් ආයෙමත් ඉක්මනින් හම්බවෙමු ජය වේවා!!

Thursday, June 21, 2012

කදුළු........





අද අඩන්න මට බෑ
මොකද මම ඊයෙත් අඩපු නිසා.....
නුඹටත් අද අඩන්න බෑ
මොකද නුඹේ කදුළුත් අරන් මම අඩපු නිසා.....

Friday, June 15, 2012

ගණේෂ් ගේ හෙට......




ඔන්න කස්ටියට කලින් කතාවක ඉතුරු කෑල්ලත් අරන් අද ආවා....පරක්කු වුනාට කමා කරත්වා!

මෙන්න මේකයි මතකද කලින් කතාව  අර විශ්නු දෙවියන් බට කොල කාපු කතාව මතක  නැත්නම්  කියවලම එන්නකෝ...

අද මෙන්න මේකයි වැඩේ..... ඉතින් ඔන්න විශ්නුගේ සෙනසුරු අපලය ඉවර වෙද්දී   ගණේෂ් ට ඒක ලබන්නට කාලය පැමිනුනා....ඒ කිව්වේ ගණ දෙවියන්ට.දන්නවනේ ඉතින් ඒ මොලේ තරම මතක ඇතිනේ.....අයියට වල්ලි අම්මා සෙට් කරලා දුන්න හැටි.....හරි අද මම කියන්න යන්නේ මේ හෙනහුරු අපලෙන් ගණේෂ් බේරුන හැටි....

ඉතින් සෙනසුරු අපලය ලග ලගම තමන්ට එන බව දැන ගත් ගණ දෙවියන් ඉන් බේරීමට මගක් සොයන්නට වුනා...කෙමෙන් කෙමෙන් කාලය ගෙවුනා .....ඔන්න ඉතින් අවසාන දිනය ලංවුනා ඒ කිව්වේ ඕං හෙට තමයි ගණ දෙවියන්ට සෙනසුරා ලබන්නේ ....ඉතින් මේක ගැන කල්පනා කල ගණ දෙවියන් අවසානයේ හදිසි තීරණයක් ගත්තා.ආයේ හෝදන්න දෙයක් නෑ මොකක් හරි උප්පර වැට්ටියක් වෙන්න ඇති..

ඒ මොකක්ද දන්නවද?

ඒ තමයි  තම දේව මන්දිරේ විශාල සාදයක් පවත්වන එක.කොහොමින් කොහොම හරි දේව සභාවේ සියල්ලටම ඇරයුම් පත් පිටත් කරලා...ඔහු සාදයට සූදානම් වුනා...අති සුවිශේෂි අන්දමින් සාදය පිලිවෙල වුනා.ඉතින් ඒ අපූරු දිනය උදා වුනා ගණේෂ් හොදට ඇද පැලද ගෙන තම සාදයට සහභාගී වන්නට ගියා....ඇත්තටම සේරම දේව පිරිවරයන් ඒකට ඇවිත් තිබුනා මොකද දන්නවද යාළුවනේ  ගණ දෙවියන් කියන්නේ හරිම සුහදශීලි කෙනෙක්..ඉතින් බලන්නකෝ අනික් වැඩේ...

සෙනසුරත් උදේ පාන්දරම අවදි වෙලා ගණ දෙවියන් මුණ ගැහෙන්න එන්න බලන් පිටත් වුනා....තමාගේ අපලය පූජා කිරීමට සෙනසුරු ඉක්මනින්ම ගණ මන්දිරයට සැපත් වුනා..

ඔහුට අදහාගන්න බැරි වුනා ....අනික් අය තම අපලයට බියෙන් සැගවෙද්දී ගණ දෙවියන් සාද සමරනවා....හැමෝම අමෘතය බොනවා නාටිකාවන් රග දෙනවා එතන මගුල් සක්වලක්....ඔන්න ඒ අතරේ සෙනසුරු දැක්කා දෙවියන් පිරිසක් වට කරගෙන කතා බහක ඉන්නා ගණේෂ්ව...

ඔහු හිමීය ඒ දිහාට කිට්ටු වුනා සෙනසුරු දැක්ක විගස අනෙක් අය තුල තිගැස්මක් ඇති වුවත් ගණ දෙවියන් තුල නම් එහෙම එකක් තිබුනේ නෑ..සෙනසුරු කට හඩ අවදිකලා...

"ගණේෂ්  ඔබට අද දිනය මතකයි නේද?"

"එහෙම අමතක වෙනවද? මේ හදිසියේ එන්න ඇත්තේ මට තෑගි දෙන්නනේ.."

"ඔව් ඔව් නුඹට සුවිශෙෂී වරයක්." සෙනසුරු  කින්ඩියට කිව්වා

"ඉතින් කියමු බලන්න"

"අද තමයි නුඹට මගේ අපල චක්‍රය පිහිටන්නේ"

"හම් මම දන්නවා ඒත් එක ඉල්ලීමක් තියෙනවා මගෙන්"

"කියමු බලන්න"

"අද වගේ සතුටු දවසක් නැති කරගන්න මම කැමති නෑ... ඒ නිසා ඔය කියන අපලය එක් දිනක් කල් දාලා දෙන්න"

"එහෙම කිරීමට නුපුළුවන ගණේෂ් ඇයි තා එහෙම ඉල්ලීමක් කරනුයේ"

"නෑ සාදයේ වැඩ කටයුතු ඉවර වෙද්දී රැය පහන් වෙන නිසා"

"හරි මම එහෙනම් හෙට එන්නම් .....ආයේ නම් පස්සට බෑ නොවරදවාම ලේස්ති වෙලා ඉන්න"

"ගණේෂ්........"  සෙනසුරු ආයේ හැරුනා......

"ඇයි"

"මට තා අවිශ්වාසයි."

"ඇයි ඒ??"

"මම දන්නවා නුඹ කපටියා කියලා ....කොහොමද මම පිලි ගන්නේ නුඹ මට හෙට එන්න කිව්වා කියලා....කියමු බලන්න.."

ගණ දෙවියන් ටිකක් කල්පනා කලා.තමා සිතා සිටි පරිදිම සියල්ල සිදූවූ වා යැයි ඔහුට හිතුනා.

"නුඹට මම පොරොන්දු වෙන්නම්"

"හා හා හා නුඹේ කට වචනෙට මම රැවටෙන්න....හිතුවද මම මෝඩයෙක් කියලා"

"හරි නුඹ සටහනක් තියලා යන්න නුඹේ අපලය හෙට කියලා"

"හම් හම් ඒකත් නරකම නෑ. දැන් කොහේද ඕක තියන්නේ නොමැකෙන තැනක් වෙන්න ඕනි.."

"හරි නුඹ මගේ උදරයේ (බඩේ) එය දක්වන්න..." ගන දෙවියන් කිව්වා...

දන්නවනේ මගේ යාළුවෝ ගණ දෙවියන්ට ටිකක් විශාල උදරයක් තියෙනවා .ඉතින් කතා කරගත් පිරිදි සෙනසුරු තම නියපොත්තෙන් ගණේෂ්ගේ උදරය මත පැහැදිලි අකුරින් අපලය හෙට කියලා ලිව්වා....
සියල්ල අවසානයේ හැමෝම නික්ම ගියා.ඔයාලා දන්නවනේ දේව පොරොන්දු ආයේ තනි වචනෙම තමයි කිව්වොත් කිව්වා ....




ඉතින් අදාල දිනයේ සෙනසුරු නැවත පැමිණියා

"ගණේෂ්......"

"ආ .....හදිසියෙම"

"මොකද අදත් මග හරින්නද හදන්නේ"

"මොනවද සෙනසුරු මග හැරියේ"

"ඇයි ඊයේ කිව්වේ අපලය අරන් හෙට එන්න කියලා"

"ඇත්තද ? ඉතින් කෝ සාක්ෂි"

"තමුන්ගේ බඩේ බැලුවනම්....."සෙනසුරු කෝපයෙන් කිව්වා.

ගණ දෙවියන් තම බඩ දිහා බැලුවා රවුම් අකුරින් මෙහෙම ලියා තියෙනවා.......

සෙනසුරු අපලය හෙට

"අයියෝ ඒක හෙටනේ ඇයි ඔබ අද ආවේ.....යන්න යන්න ගිහින් හෙට එන්න"

ඉතින් යාළු තේරනවනේ වෙච්චි දේ...ඔන්න ඔහොම අපලය යනකන්ම සෙනසුරුට හෙට කියන දවසේ එන්න වුනාලු ඒ හින්දා කවුරු හරි හෙට කිවුවොත් ඒ ගැන දෙපාරක් හිතන්න


Thursday, June 7, 2012

තනිකම.......




ඇත්තටම හිතෙනවා....
අව්වට වැස්සට .....
ඉහලන්න
මටත් කුඩයක් තිබුනා නම්.............
කියලා.....