Thursday, December 25, 2014

෴ ඇයත් සාගරිකාම විය - දෙවැනි දිගහැරුම ෴



හීන් සීතලත් එක්ක රාත්‍රී 7.05 පමණ වෙද්දී සාගරිකා ඇයගේ ගමන් අවසානයට ලගාවුනා.ස්ටේශන් එකෙන් එලිය බහිනවා කියන්නේ නිකන් වැල්ලේ මාළු ලෑල්ලට අඩිය තියනවා වගේ.ත්‍රීවීල් කාක්කෝ හැම තැනම.උන්ගේ මල පෙරේත බැල්ම දැකලම දැන් ඔතනින් යන හැමෝටම  පුරුදු වෙලා.සමහරක් එවුන්  බලන්නේ අපි නිකන් පිරිමි බඩු වගේ.හනි හනිකට ගෙදර යන්න බස් එකක් ගන්න ස්ටෑන්ඩ් එක පැත්තට මම පය ඉක්මන් කලා.

වෙලාවකට පුදුම කට්ටක්. ඒත් මොනවා කරන්නද? මම මටම කියා ගත්තා.තව කොච්චර කලක් මේක කරන්න වෙයිද කියලා උඩ දෙයියෝ තියා පහල ඉන්න මම වත් දන්නේ නෑ.ආසාවෙන් පටන් ගත්ත ජොබ් එකත් දැන් දැන් එපා වී ගෙන එනවා කියලයි මටනම් හිතෙන්නේ.හිතේ සතුටක් නැති තැන කඩා වැටීම් ගොඩයි......

තාරකා.... ඒ මගේ ෆ්‍රස්ට් ලව් එක නම් නෙමේ.ඒත් ජීවිතේ වැඩියෙන්ම ආදරේ කල එකී ඈ. ඒ නිසා තාමත් අමතක නොවන වේදනාවක් පපුවේ කීරී ගාන්නේ මොන හේතුවකටද කියලා   හිතාගන්න බෑ.ඒ මගුලටත් කණ කොකා අඩලා අදට හරියට  සති දෙකයි දවස් හතරයි.ඔය සති දෙකට පිරිමියෙක් වුනත් දරඩඩු හිත අස්සේ කාටවත් නොපෙනෙන වෙනස්ම මනුස්සයෙක් ඉන්නව කියලා මට තේරුනෙත්,කොට්ටයක් තෙමෙන්න කදුලු  වක්කරපු දවසේ.

තේරුමක් නෑ ....ඇයි ආදරේ ලැබෙද්දී විතරක් ලගින් ඉන්නේ.අටලෝ දහම වගේ දුකේදිත් සැපේදිත් හැම තනදිම ඉන්නයි අපි ජීවිතයේදී කෙනෙක් ගේ අතින් අල්ලගන්නේ.මේ ජීවිත ගමන යනතාක් ගිහින් ඇස් දෙක පියාගන්නකල් එක්කන් යන්නයි අපි කෙනෙක් ගේ අතින් අල්ල ගන්නේ.එහෙම තියෙද්දී සල්ලිත් හම්බ කරල දීලා , අඩු පාඩුවක්  අතපසුවීමක් වුනාම හිත එහෙ මෙහෙ දුවන යන ගෑනු ගන්නවට වඩා හොදයි  වැස්සියෙක් සහේට ගන්නවා.මම මටම කියා ගත්තා.

ඔරලෝසුවේ 8 වගේ වෙද්දී මම ගෙදරට යාගත්තා.අම්මෝ පුදුම මහන්සියක්..... ඔක්කොම අමතක වුනා මේසේ උඩ වහලා තිබ්බ බත් පිගාන දැක්කම.ඒ අපේ අම්මගේ ආදරේ.රට වටේ කොහෙන් කෑවත් ඉස්මුරුත්තාවට ඇවිත් තිබ්බත් මම ඔය පිගාන කොහොම හරි බඩට ඔබා ගන්නවා.මොකද බත් වලට එහා ගිය සෙනෙහසක් රසයක් ඒකේ තියෙන නිසා.අනික ඒක නොකා විසි කරද්දී විසික් වෙන්නේ බත් ඇට නෙමෙයි අම්මගේ ආදරේ කියලා මම අත්දැකීමෙන් දන්නවා.

අදනම් මහන්සිය උපරිමයි.මූණ කට සෝදන් සරමක් දාගෙන මම කටවල් දෙකට තුනට බත් පිගාන හිස් කලා.කොහිල මාළුවයි බටු බැදුමයි එක්ක බත් ටික බඩට වගේම හිතටත් ලොකු අස්වැද්දීමක් දුන්නේ.වෙනදා නොතිබූ මහන්සිය නිසා ඉක්මනින් නිදාගන්න මම තීරණය කලා.මොන තරම් සුව පහසුවක් තිබ්බත් .. අපිලිවෙලේ උපරිම එක වුනත් මගේ ඇද මට සිරියහනක් වගේ.ඒක කියන්න තේරෙන්නේ නෑ.. ඒත් අමුතුම සීතලත් එක්ක අදේ දිගාවෙද්දී සනීපෙට නින්ද යනවා කියලනම් මම ඉර හද වගේ දන්නවා....


මතු සම්බන්ධයි
2014-12-25
කල්ප


Sunday, November 30, 2014

෴ ඇයත් සාගරිකාම විය ( පළමුවන දිගහැරුම ) ෴



පලමුවන වේදිකාවේ නවතා ඇති සාගරිකා සීග්‍රග්‍රාමී දුම්රිය දැන් ගාල්ල සහ මාතර බලා පිටත් වේ.. දුම්රිය නවත්වන්නේ .........

වෙලාවකට මහ කන් කරච්චලයක් ... මරණ බයේ ඉන්න එකෙක් කෑ ගහනවා වගෙයි. හැමදාම හිතනවා  මේකට ලස්සන කටහඩක් තියෙන කෙල්ලෙක් දාන්න බැරි ඇයි කියලා.කොහොම වුනත් ඔරලෝසුවේ කට්ට පාමුලට තියන්  සාගරිකා අල්ලන්න  එන අපිට ඔය කටහඩත් පුදුම හයියක්.හැමදාම වගේ ඔක්කොම ජාතක කතාව මගේ ඇගටම ඔබාගෙන යන්න ඔන්න මෙන්න හිටිය සාගරිකාව යාන්තමින් අල්ලගත්තා.

මම අසේල.ගෙවල් නම් කරාපිටියේ. ඒත් කොයි වෙලේ බැලුවත් මහ පාරේ.වැඩ කරන්නේ මරදානේ.පුද්ගලික සමාගමක පරිගණක ක්‍රියාකරවන්නෙක් විදියට තමයි රස්සාව කරන්නේ.හැමදාම ඉතින් මේක තමයි අපේ ජීවිතේ.

අපේ සමහරක් උන් නම් කියන්නේ ගෙදර ගෑනිත් එක්ක බුදියනවට වඩා වෙලාවක් සාගරිකත් එක්ක බුදියනවා කියලා.ඒක්නම් ඇත්ත ඔය හවසට හැමදාම අලුත්ගම පහු උන ගමන් හැමෝම සතර පෙර නිමිති වෙනවා. නිදි විකාරේ දන්න එකෙක් ශීට් එකෙන් පොඩ්ඩක් එහාට වෙලා ලග ඉන්න එකාට සක්කයක් දෙනවා තුනේ ශීට් එකට හතරක් ඔබාගන්න.වීදුරුව පැත්තේ ඉන්න එකානම් කාටවත් නොපෙන්න ඕකට ඔරවනවා.ඒ එරවිල්ල හැමෝම දකිනවා කියලා ඌත් දන්නවා අපිත් දන්නවා.

සෙනග අස්සෙන් හිමින් සීරුවේ මම අතුලට රිංගුවා.පොල්අතුමෝදර හලාවත සුවද නොදැනුනාම නෙවෙයි.ඒත් වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන්න එපා කියලා කියනවනේ.හිමි සීරුවේ අපෙ එවුන් ඉන්න තැනට මම සේන්දු වුනා.

"ආ අසේලයා මම හිතුවේ පරක්කුවට උඹ අද කලින් යන්න ඇති කියලා" 
"නෑ බං අද වැඩ ගොඩ ගැහිලා .. මෙහෙමවත් එන්න පුළුවන් වෙයි කියලා මම හිතුවෙම නෑ"
"මල්ලි අද උදේ දැක්කේ නෑ නේ" ඒ සිතාරා අක්කා.

වයසින් තිස්පහක් විතර වුනත් තාමත් කෙල්ල වගේ.වෙලාවකට  මට හිතෙනවා ඔය මල්ලී වචනෙ අතරේ අමුතු ගුප්ත කමක් තියෙනවදෝ කියලා.එක්කෝ ඇයි අහක යන නයි රෙද්ද අස්සේ දා ගන්නේ.පාඩුවේ ඉන්නවා මගේ හිත මටම කිව්වා.

"නෑ අක්කේ අද උදේ එද්දී ටිකක් පරක්කු වුනා.... කොහෙද වෙලාවටම ඇදලනේ.ඒ පාර මම බස් එකේ ආවා" උත්තරය සම්පූර්ණ කරලා හිමීට ශේප් වුනා.

දුවන් ඇවිත් මූන පුරා දාඩිය.ඒක දැක්කෙත් දාඩිය බිංදුවක් නලල දිගේ රූටලා නිකටෙන් සමනලීගේ බෑග් එකට වැටෙනව දැක්කම.ඒකි  දැක්කනම් අහගන්න තිබ්බා සුද්ද සිංහලෙන්.හිමින් සීරුවේ සාක්කුවට අත දැම්මා ලෙන්සුව ගන්න,ලේන්සුවත් එක්ක තව මොකක්දෝ අහුවුන නිසා ලේන්සුව තියෙද්දී ආගන්තුක දේ එලියට ඇද්දා.හතරට නවපු සුදු කොලයක්.

ඊයේ රෑ ලිව්ව සටහනක් එහෙමම සාක්කුවට ඔබාගෙන.මේ දවස් වල වැහි අදුර හැම වෙලේම, හෝදපු සරම තෙත නිසා නිදාගන්නකල් අදන් ආපු කලිසම පිටින් හිටියේ. වෙච්ච වින්නැහිය එකින් එකට මතකෙට ආවේ පෙරදා අමතක කරපු සිද්දි ටිකක් එලියට නොගෙන තවත් ඈතට පා කරලා යවමින්.

කොහොම වුනත් සෙනග අස්සේ ඔය කඩදහි අදින්න බැරි නිසා මම ඒක එහෙමම සාකුවට ඔබා ගත්තා. ඒත් ඒ කොලය මගේ, වචන මගේ පෙරදා රෑ වෙදනාව මගේ හිතේ දෝංකාර දෙන්න පටන් ගත්තා.හිතට කිසිම අස්වැසිල්ලක් නෑ  අවසන් මොහොතේ අතේ වෙව්ලිල්ලට කොලේ පුරා ගිය පෑන් තුඩ ලිව්ව අන්තිම වචන පේලිය මගෙ හිතට තදින්ම කා වැදුනා.

"තාරකා..... ඔයාගේ ඉස්සරහා සුරංගනා ලෝකයක් මැව්වේ නැතුවට , මම ඔයාව ඇත්ත ලෝකේ ජීවත් කලා.වචන කියන්නේ ආදරය නොවුනට මිනිස්සු යට වෙන්නෙත් ඔය වචන වලටමයි......... "

ආයෙත් සමනලීගේ මල්ල කදුලින් තෙත් කරන්න අකමැති නිසා හනිකට ලේන්සුව එලියට ගත්තා.ලේන්සුව අරන් මූන පිසදාලා සක්කුවට ඔබද්දී මේ මගේ ලෙන්සුවමදැයි මටත් සැකයක් ආවා.මේ හැමෝම අතරේ  මුකුත් නොදන්න සාගරිකා හුස්මක වේගෙන් යකඩ පීලි  මතින් හැමදාම ඉදිරියටම ගියා.

මතු සම්බන්ධයි......

Friday, November 28, 2014

වෙනස් නොවෙනා ලෝකයේ....





නිහඩ නිසසල පාළු මැකු නුඹ 
ඇතැර ගිය දා වසන්තේ.........
සුවද මදනල හමා ගොස් ඇත 
දුරක් නොපෙනෙන අනන්තේ.......
සතුට මිස මම කිසිත් නොපතමි
 යනෙන ගමනට ඔයාගේ...........
වෙනස් වීමයි එකම දේ හැම 
වෙනස් නොවෙනා ලෝකයේ........

-- ල් --

Wednesday, September 17, 2014

රැල්ලක් වෙන්නට.....





සයුර හැමදා වෙරළ සිම්බට
අයිති නෑ සුදු රැල්ල වෙරළට
ආව මතකය හද පුරෝගෙන
වෙරළ ඉන්නේ සෙනේ අත ගෙන
ඊයේ අද හෙට කෙදින ආවත්
තාම රැල්ලට ආදරේ ඇත
මන්ද සයුරට රැල්ල පොඩි මුත්
අහිමි වෙරළට මහ මෙරකි එය
දුන්නු මතකය සිදී යන්නට
නොදී එනු මැන රැල්ල හනිකට
වෙරළ තාමත් මග බලාගෙන
තෙතමනය නුඹ ලග නිසාමය......

----- කල්ප -----

Saturday, April 13, 2013



ආදරණීය සහෘදයිනි ලැබුවා වූ නව අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සියළු පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!

---කල්ප---

Wednesday, January 2, 2013

අමතක වු අතීතේ.....




කදුළු වැල් ඉහිරෙද්දි
ඇස් කොනින් බිම බලන්.....
යදින්නට ආදරය
හිතක් නෑ කෙදිනවත්.....
ඉස්සරම වගේ තව 
දවසකට ඇවිත් මං......
කියල දෙන්නද උන්නු හැටි
අපි දෙන්නා අපි ලග රත්තරන්.......



----ල්---

Monday, December 31, 2012

සුබම සුබ 2013 නව වසරක් වේවා ....!!



කොහොමද මගේ යලුවනේ ...මුලින්ම ප්‍රර්තනා කරන්නම් ලබුවාවූ 2013 මේ අලුත් අවුරුද්ද ඔබ සෑම සියලු දෙනාටමත් ලෝක වාසී සියල්ලටමත් හිත්වල තියෙන අහිංසක බලාපොරොත්තු සියල්ලම යහපත් ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කරගන්න වාසනාව ලැබෙන අළුත් අවුරුද්දක් වේවා කියලා...

සමාවෙයල්ලා ඉස්සෙල්ලම කාලෙකින් මොනවත් නොලිව්වට...අධ්‍යාපන වැඩ එක්ක ටිකක් වේලාව මදි..ඒ අස්සේ තව මගුලක් උඔලගේ කොමෙන්ටු වලට මට reply යි කොරන්න දෙන්නේ සමහර වෙලාවට ...තරහා ගන්න එපා සුදූලා...ඒන හදාගන්න දන්න පින්වන්තයෙන් ඉන්නවනම් කියහන් හොදද? කොමෙන්ටු දාන්න  ගියාම හිර වෙනවා මුළු බ්ලොගයම...ආයේ PC එකම Restart කරන්න ඕනි .

ඉතින් අළුත් අවුරුද්දේ අළුත් දේවල් ටිකක් දෙන්නම් යාළුවන්ට.අහා අමතක වුනානේ මම මේකේ මේ යක්ෂ දේව කතා ලියන එකට කට්ටියකට වල්ගේ පෑගිලානේ ...fb එකට message නොදා පෝස්ට් එකේම ඒවා දාහන් ඔය දාන එවුන් ටික.උන් අහනවා මගෙන් 21 ශතවර්ශෙත් පැනලා ඉන්න අපි තාම ඕවා විස්වාස කරනවා කියලා.විස්වාස කරන නොකරන එක වෙනම කතාවක් ඒත් දේව කාතා සාහිත්‍යයය අපූරූ වින්දනීය පැතිකඩක්.රස වින්දනය පෙරටු කරගෙන තමයි මම මූලිකවම ලියන්නේ.ඒවා වැඩක් නෑ කියවන එක් දෙන්නා වෙනුවෙන් හරි කල්පයා දිගටම ලියනවා...

ඉතින් එන්න පුළුවන් හැම වෙලේම මේ පැත්තට එන්නම් නාවත් උඹලගේ ඒවා පුළු පුළුවන් වෙලාවට කියවනවා.
එහෙනම් ඉතින් අදට සමුගන්නවා.....ලොකේ විනාසෙත් ආවනේ ...හි හි.. ඒවා ඔක්කොම අමතක කරලා අළුතෙන් හිතමු ...මේ අවුරුද්ද වැරදි අඩුවේන් යහපත් දේ වැඩියෙන් කරමු..ඔයාලා හැමෝටම නැවතත් වැස්සෙන් පතනවා සුබම සුබ 2013 නව වසරක් වෙන්න කියලා.සියල්ලටම ජයග්‍රහනයේ මංපෙත් විවර වේවා!!

මම වැහිපොදින් ...කල්ප---