Tuesday, November 19, 2019

~• මරණීය රමණයක අවසාන හුස්ම ටික •~



මරණීය රමණයක අවසාන හුස්ම ටික



තෙරපිලා ලේ නහර මස් ටික
කිලිපොලා ගත දරඬු සියොලඟ
පැසසිලා මුළු රෝම ධාතුව
සැනසුනා පතිනියක් යහනක ....



සියපතක මුදු සුවඳ කැන්දා
හීන් කෙඳිරිලි හඬින් බන්දා
පිලිවෙලට ඇතිරිල්ල රන්දා
ධවල සිත්තම ලෙයින් ඇන්දා .....



පතිනි වුව කෑ ගා හඬාවී
පා සුරඹ හඬ රැව් නගා වී
වෙරළු මල් සුවදක් හමාවී
ජීවිතේ රහ දැන ගනීවී ....



- කල්ප -

2019/07/05


~ දෙයියංගේ වාහනේ ~



~ දෙයියංගේ වාහනේ ~



පෙළට එන පුද වට්ටි අතරේ යටවෙලා

උඹේ කන්නලව්.....

එදා වගෙමයි තාම උඹනම් නෑනේ


කිසි වෙනසක් හැඩක්.......

උපන් දා සිට උඹ දකින්නේ එකම තැන

ඉන්නවා බලන්......

ඇයිද බැරි උඹෙ මහ තැනට එක දිනක්

පණ දෙන්නට වගක්........



ගෙනෙන නර පැන ඉදිරියේ නෑ

දෙයියන්ට වත් නිදහසක්.....

පොරත් දැන් වැඩිපුරම ඉන්නේ බිත්තිවල

එල්ලිලා හිටං.......

උඹේ ලෙන්ගතු කම බලන්නට උන්ට නෑ

කිසි වගතුගක් ......

හෙටත් උඹ ඔතනමම ඉදපන් ඇවිත්

හිස අතගානකල් .....





- කල්ප -

2019/09/24

Sunday, June 28, 2015

෴ඇයත් සාගරිකාම විය - තුන්වන දිගහැරුම෴



හැමදාම වගේ අදත් වැඩට ආවේ  සාගරිකගේම ඇගේ එල්ලිලා තමයි.ආවට පස්සෙයි දැන ගත්තේ අද පුංචි පුංචි වැඩ කීපයකට වාද්දුවට යන්න වෙලා කියලා. මොනා කරන්නද එක අතකට යකඩ ගොඩ අස්සෙම ඉන්නෙ නැතුව පොඩ්ඩක් වෙනසකටත් එක්ක ඒක හොදයි කියලා මටම හිතෙන්න ගත්තා...


"ආ අසේල, අර මම කිව්ව ප්‍රොජෙක්ට් එක බලන්න  ඔයා තිලකසිරි එක්ක අද වාද්දුවට යන්න,ඒක  කොහොම හරි ගොඩ දාගන්න බලන්න ... කලින් යැව්ව මිනිහා කිසිම උවමනාවකින්  ඇනලයිස් කරලා නෑ කියල්ල කම්ප්ලේන් එකක් ආවා...." ලොක්කගේ හඩ පිටිපසෙන්  සැනෙන් අහුනා.


"ආ හරි සර්.. මට කිව්ව නෙත්මිනි, මම යන්නම් "මම මද සිනාවක් පෑවා.


"ඇත්තනේ අයිසේ ... උන්ගේ ප්‍රස්න වලට විසදුමක් දෙන්නයි අපිට සිස්ටම් හදන්න කියන්නේ... අඩු තරමේ ඒවයින් බාගයකටවත් සොලූශන් අපි දෙන්න දැන ගන ඕන. එවත් හදලා ආයේ  මැනුවල් වැඩත් ඉතුරු කලාම ... අපේ මොකක්ද තැන"


"ඔව් ඒකනම් ඇත්ත තමා ... මම මොකක් හරි කරන්න බලන්නම් සර්.." මම හිමින් සීරුවේ මාරු වුනේ   ඉක්මනින් ගිහින් එන්න හිතාගෙන.


උදේ කෑමෙන් පස්සේ  තිලකසිරි එක්ක මම වාද්දුවට යන්න පිටත් වුනා. තාරකා.. වෙලාවක් අවේලවක් නැතුව මතක් වෙනවා.මොන කෙහෙල්මලක්ද.... ඔක්කොම අමතක වෙන්න මම ශීට් එකට ඔලුව බර දුන්නා..


වේලාව සවස 5 විතර මයෙ හිතේ... වැඩ ඔක්කොම් අහවර  කරලා... මම සෙනරත් සර්ට දුරකතන ඇමතුමක් දුන්නා.


"හෙලෝ සර් .... මම අසේල"

"ආ ඔව් අසේල කියන්න.. කොහොමද? ගිය වැඩේ"

"වරදක් නෑ සර් ප්‍රොජෙක්ට් එක ඕකේ.. ප්‍රපොසල් එක දෙන්න ඕනි මේ සතිය අතුලේ....  සර් මම මේ අහන්න ගත්තේ දැන් 5ත් පහු වෙලා නිසා මම  තිලකසිරිව එවලා, මෙහෙමම ගෙදර යන්නද කියලා?  "


"ආ.. ආ.. හරි හරි තිලකෙට කියනවා එහෙනම් එන්න කියලා .... "

"ආ හරි සර් ...  තැන්ක් යූ සර්, මම තිලකසිරිව එවන්නම්" මම හද පිනා ගිය සන්තෝශයෙන් කිව්වා...


තිලකසිරිට කියලා කලුතර ස්ටේශමට පැමිනි මම අඩිය ඉක්මන් කලේ 5.45 වගේ සාගරිකා අල්ලන්න පුලුවන් කියලා හිත කිව්වා නිසා ..ස්ටේශමට යද්දී හීන් පොදක් තිබ්බත් පිට්ටනියේ නම් කොල්ලෝ කුරුට්ටෝ ටිකක් ක්‍රිකට් ගහනවා.උන්ට මොන වැහිද..


ස්ටේශමේ මෙහා කොනෙන් ගොඩ වුන මම හිමින් සීරුවේ ඉදිරියට ගියා... නුහුරු නුපුරුදු මූනු අතරේ හැමදාම යන කීප දෙනෙකුගේ මූනුත් මට නෙත ගැටුනා...


සෙනග නම් අඩුවක් නෑ, අදත් පරක්කුයි වගේ.... හොද වෙලාවට,  නැත්නම් මාර කට්ටක් කන්න වෙන්නේ.... මම මටම කියා ගත්තා


හිමින් සිරුවේ ඉදිරියට යද්දී මට හින් කට හඩක් අහුනා.. වැදගත්  කෙනෙක් නොවුනත් අහුනු දේ මට වැදගත් වුනා...


"අදත් සාගරිකා නෑ නේ..."

"ඇයි මොකද වුනේ" හීන් කෙසග පිට පලුවකටවත් ඉරන්න බැරි කෙල්ලෙක් ඇස් දෙක දොබ ගෙඩි කරන් අනිකාගෙන් අහුවා

"නෑ ඔය කිව්වේ එන්නේ නෑ කියලා"

ඔක්කොම කෙල්ලන් සය  දෙනක් පමන එතන ඉන්න ඇති .වැඩි විස්තරයක් අහන්න හිත් දුන්නත් එක්කෝ ඕන නෑ කියලා මම ඉස්සරහට ගියා.


මැදැයි සාගරිකා අල්ලන්න ආවා... ශිට්... කමක් නෑ  හික්කඩුවේ එකේ ගිහින් .එතන ඉදන් බස් එකේ යනවා.එතකොට  මේ සෙනග ඔක්කොම ඒකටද .අදනම්  හුස්ම ගන්නත් බැරි වෙන පාටක් පේන්නේ.... මට එක එක විකාර හිතෙන්න ගත්තා.සාගරිකත් අගේ කෑල්ලක් වෙලා වගේ... වෙලාවකට මට එහෙමත් හිතෙනවා....අනේ මන්දා


ටික වෙලාවක් යද්දී කලුතර මන්දගාමී දුම්රිය ස්ටේහශමට ලගා වුනා.


"දෙවන වේදිකාවට  දැන් පැමිණි දුම්රිය දකුනු කලුතර දුම්රිය ස්ථනයට පමණයි...  මාතර බලා ධාවනය වන ස්සගරිකා සීග්‍රග්‍රාමී දුම්රිය තව ස්වල්ප වේලාවකින් පලමුවැනි වේදිකාවට  ලගා වෙනවා ඇත.දුම්රිය නවත්වන්නේ..."


ඇයි යකෝ මටද පිස්සු නැත්නම් අර චීත්ත ටිකටද?? හැරිලා ගියානම් විනාසයිනේ... හිතේ ඇති වුනු කෝපය මම සාගරිකා ඒම ගැන මතක කරමින් මකා ගත්තා.හැමදාම වගේ වැඩි සද්දයක් නැතිව සාගරිකා කලුතරටත් සේන්දු වුනේ  අරුන් කීපදෙනා ගැන   අන්ඩර දෙමල  කතාවක් පටන්ගනිමින්.

මතු සම්බන්දයි

-ල්-

Thursday, December 25, 2014

෴ ඇයත් සාගරිකාම විය - දෙවැනි දිගහැරුම ෴



හීන් සීතලත් එක්ක රාත්‍රී 7.05 පමණ වෙද්දී සාගරිකා ඇයගේ ගමන් අවසානයට ලගාවුනා.ස්ටේශන් එකෙන් එලිය බහිනවා කියන්නේ නිකන් වැල්ලේ මාළු ලෑල්ලට අඩිය තියනවා වගේ.ත්‍රීවීල් කාක්කෝ හැම තැනම.උන්ගේ මල පෙරේත බැල්ම දැකලම දැන් ඔතනින් යන හැමෝටම  පුරුදු වෙලා.සමහරක් එවුන්  බලන්නේ අපි නිකන් පිරිමි බඩු වගේ.හනි හනිකට ගෙදර යන්න බස් එකක් ගන්න ස්ටෑන්ඩ් එක පැත්තට මම පය ඉක්මන් කලා.

වෙලාවකට පුදුම කට්ටක්. ඒත් මොනවා කරන්නද? මම මටම කියා ගත්තා.තව කොච්චර කලක් මේක කරන්න වෙයිද කියලා උඩ දෙයියෝ තියා පහල ඉන්න මම වත් දන්නේ නෑ.ආසාවෙන් පටන් ගත්ත ජොබ් එකත් දැන් දැන් එපා වී ගෙන එනවා කියලයි මටනම් හිතෙන්නේ.හිතේ සතුටක් නැති තැන කඩා වැටීම් ගොඩයි......

තාරකා.... ඒ මගේ ෆ්‍රස්ට් ලව් එක නම් නෙමේ.ඒත් ජීවිතේ වැඩියෙන්ම ආදරේ කල එකී ඈ. ඒ නිසා තාමත් අමතක නොවන වේදනාවක් පපුවේ කීරී ගාන්නේ මොන හේතුවකටද කියලා   හිතාගන්න බෑ.ඒ මගුලටත් කණ කොකා අඩලා අදට හරියට  සති දෙකයි දවස් හතරයි.ඔය සති දෙකට පිරිමියෙක් වුනත් දරඩඩු හිත අස්සේ කාටවත් නොපෙනෙන වෙනස්ම මනුස්සයෙක් ඉන්නව කියලා මට තේරුනෙත්,කොට්ටයක් තෙමෙන්න කදුලු  වක්කරපු දවසේ.

තේරුමක් නෑ ....ඇයි ආදරේ ලැබෙද්දී විතරක් ලගින් ඉන්නේ.අටලෝ දහම වගේ දුකේදිත් සැපේදිත් හැම තනදිම ඉන්නයි අපි ජීවිතයේදී කෙනෙක් ගේ අතින් අල්ලගන්නේ.මේ ජීවිත ගමන යනතාක් ගිහින් ඇස් දෙක පියාගන්නකල් එක්කන් යන්නයි අපි කෙනෙක් ගේ අතින් අල්ල ගන්නේ.එහෙම තියෙද්දී සල්ලිත් හම්බ කරල දීලා , අඩු පාඩුවක්  අතපසුවීමක් වුනාම හිත එහෙ මෙහෙ දුවන යන ගෑනු ගන්නවට වඩා හොදයි  වැස්සියෙක් සහේට ගන්නවා.මම මටම කියා ගත්තා.

ඔරලෝසුවේ 8 වගේ වෙද්දී මම ගෙදරට යාගත්තා.අම්මෝ පුදුම මහන්සියක්..... ඔක්කොම අමතක වුනා මේසේ උඩ වහලා තිබ්බ බත් පිගාන දැක්කම.ඒ අපේ අම්මගේ ආදරේ.රට වටේ කොහෙන් කෑවත් ඉස්මුරුත්තාවට ඇවිත් තිබ්බත් මම ඔය පිගාන කොහොම හරි බඩට ඔබා ගන්නවා.මොකද බත් වලට එහා ගිය සෙනෙහසක් රසයක් ඒකේ තියෙන නිසා.අනික ඒක නොකා විසි කරද්දී විසික් වෙන්නේ බත් ඇට නෙමෙයි අම්මගේ ආදරේ කියලා මම අත්දැකීමෙන් දන්නවා.

අදනම් මහන්සිය උපරිමයි.මූණ කට සෝදන් සරමක් දාගෙන මම කටවල් දෙකට තුනට බත් පිගාන හිස් කලා.කොහිල මාළුවයි බටු බැදුමයි එක්ක බත් ටික බඩට වගේම හිතටත් ලොකු අස්වැද්දීමක් දුන්නේ.වෙනදා නොතිබූ මහන්සිය නිසා ඉක්මනින් නිදාගන්න මම තීරණය කලා.මොන තරම් සුව පහසුවක් තිබ්බත් .. අපිලිවෙලේ උපරිම එක වුනත් මගේ ඇද මට සිරියහනක් වගේ.ඒක කියන්න තේරෙන්නේ නෑ.. ඒත් අමුතුම සීතලත් එක්ක අදේ දිගාවෙද්දී සනීපෙට නින්ද යනවා කියලනම් මම ඉර හද වගේ දන්නවා....


මතු සම්බන්ධයි
2014-12-25
කල්ප


Sunday, November 30, 2014

෴ ඇයත් සාගරිකාම විය ( පළමුවන දිගහැරුම ) ෴



පලමුවන වේදිකාවේ නවතා ඇති සාගරිකා සීග්‍රග්‍රාමී දුම්රිය දැන් ගාල්ල සහ මාතර බලා පිටත් වේ.. දුම්රිය නවත්වන්නේ .........

වෙලාවකට මහ කන් කරච්චලයක් ... මරණ බයේ ඉන්න එකෙක් කෑ ගහනවා වගෙයි. හැමදාම හිතනවා  මේකට ලස්සන කටහඩක් තියෙන කෙල්ලෙක් දාන්න බැරි ඇයි කියලා.කොහොම වුනත් ඔරලෝසුවේ කට්ට පාමුලට තියන්  සාගරිකා අල්ලන්න  එන අපිට ඔය කටහඩත් පුදුම හයියක්.හැමදාම වගේ ඔක්කොම ජාතක කතාව මගේ ඇගටම ඔබාගෙන යන්න ඔන්න මෙන්න හිටිය සාගරිකාව යාන්තමින් අල්ලගත්තා.

මම අසේල.ගෙවල් නම් කරාපිටියේ. ඒත් කොයි වෙලේ බැලුවත් මහ පාරේ.වැඩ කරන්නේ මරදානේ.පුද්ගලික සමාගමක පරිගණක ක්‍රියාකරවන්නෙක් විදියට තමයි රස්සාව කරන්නේ.හැමදාම ඉතින් මේක තමයි අපේ ජීවිතේ.

අපේ සමහරක් උන් නම් කියන්නේ ගෙදර ගෑනිත් එක්ක බුදියනවට වඩා වෙලාවක් සාගරිකත් එක්ක බුදියනවා කියලා.ඒක්නම් ඇත්ත ඔය හවසට හැමදාම අලුත්ගම පහු උන ගමන් හැමෝම සතර පෙර නිමිති වෙනවා. නිදි විකාරේ දන්න එකෙක් ශීට් එකෙන් පොඩ්ඩක් එහාට වෙලා ලග ඉන්න එකාට සක්කයක් දෙනවා තුනේ ශීට් එකට හතරක් ඔබාගන්න.වීදුරුව පැත්තේ ඉන්න එකානම් කාටවත් නොපෙන්න ඕකට ඔරවනවා.ඒ එරවිල්ල හැමෝම දකිනවා කියලා ඌත් දන්නවා අපිත් දන්නවා.

සෙනග අස්සෙන් හිමින් සීරුවේ මම අතුලට රිංගුවා.පොල්අතුමෝදර හලාවත සුවද නොදැනුනාම නෙවෙයි.ඒත් වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන්න එපා කියලා කියනවනේ.හිමි සීරුවේ අපෙ එවුන් ඉන්න තැනට මම සේන්දු වුනා.

"ආ අසේලයා මම හිතුවේ පරක්කුවට උඹ අද කලින් යන්න ඇති කියලා" 
"නෑ බං අද වැඩ ගොඩ ගැහිලා .. මෙහෙමවත් එන්න පුළුවන් වෙයි කියලා මම හිතුවෙම නෑ"
"මල්ලි අද උදේ දැක්කේ නෑ නේ" ඒ සිතාරා අක්කා.

වයසින් තිස්පහක් විතර වුනත් තාමත් කෙල්ල වගේ.වෙලාවකට  මට හිතෙනවා ඔය මල්ලී වචනෙ අතරේ අමුතු ගුප්ත කමක් තියෙනවදෝ කියලා.එක්කෝ ඇයි අහක යන නයි රෙද්ද අස්සේ දා ගන්නේ.පාඩුවේ ඉන්නවා මගේ හිත මටම කිව්වා.

"නෑ අක්කේ අද උදේ එද්දී ටිකක් පරක්කු වුනා.... කොහෙද වෙලාවටම ඇදලනේ.ඒ පාර මම බස් එකේ ආවා" උත්තරය සම්පූර්ණ කරලා හිමීට ශේප් වුනා.

දුවන් ඇවිත් මූන පුරා දාඩිය.ඒක දැක්කෙත් දාඩිය බිංදුවක් නලල දිගේ රූටලා නිකටෙන් සමනලීගේ බෑග් එකට වැටෙනව දැක්කම.ඒකි  දැක්කනම් අහගන්න තිබ්බා සුද්ද සිංහලෙන්.හිමින් සීරුවේ සාක්කුවට අත දැම්මා ලෙන්සුව ගන්න,ලේන්සුවත් එක්ක තව මොකක්දෝ අහුවුන නිසා ලේන්සුව තියෙද්දී ආගන්තුක දේ එලියට ඇද්දා.හතරට නවපු සුදු කොලයක්.

ඊයේ රෑ ලිව්ව සටහනක් එහෙමම සාක්කුවට ඔබාගෙන.මේ දවස් වල වැහි අදුර හැම වෙලේම, හෝදපු සරම තෙත නිසා නිදාගන්නකල් අදන් ආපු කලිසම පිටින් හිටියේ. වෙච්ච වින්නැහිය එකින් එකට මතකෙට ආවේ පෙරදා අමතක කරපු සිද්දි ටිකක් එලියට නොගෙන තවත් ඈතට පා කරලා යවමින්.

කොහොම වුනත් සෙනග අස්සේ ඔය කඩදහි අදින්න බැරි නිසා මම ඒක එහෙමම සාකුවට ඔබා ගත්තා. ඒත් ඒ කොලය මගේ, වචන මගේ පෙරදා රෑ වෙදනාව මගේ හිතේ දෝංකාර දෙන්න පටන් ගත්තා.හිතට කිසිම අස්වැසිල්ලක් නෑ  අවසන් මොහොතේ අතේ වෙව්ලිල්ලට කොලේ පුරා ගිය පෑන් තුඩ ලිව්ව අන්තිම වචන පේලිය මගෙ හිතට තදින්ම කා වැදුනා.

"තාරකා..... ඔයාගේ ඉස්සරහා සුරංගනා ලෝකයක් මැව්වේ නැතුවට , මම ඔයාව ඇත්ත ලෝකේ ජීවත් කලා.වචන කියන්නේ ආදරය නොවුනට මිනිස්සු යට වෙන්නෙත් ඔය වචන වලටමයි......... "

ආයෙත් සමනලීගේ මල්ල කදුලින් තෙත් කරන්න අකමැති නිසා හනිකට ලේන්සුව එලියට ගත්තා.ලේන්සුව අරන් මූන පිසදාලා සක්කුවට ඔබද්දී මේ මගේ ලෙන්සුවමදැයි මටත් සැකයක් ආවා.මේ හැමෝම අතරේ  මුකුත් නොදන්න සාගරිකා හුස්මක වේගෙන් යකඩ පීලි  මතින් හැමදාම ඉදිරියටම ගියා.

මතු සම්බන්ධයි......

Friday, November 28, 2014

වෙනස් නොවෙනා ලෝකයේ....





නිහඩ නිසසල පාළු මැකු නුඹ 
ඇතැර ගිය දා වසන්තේ.........
සුවද මදනල හමා ගොස් ඇත 
දුරක් නොපෙනෙන අනන්තේ.......
සතුට මිස මම කිසිත් නොපතමි
 යනෙන ගමනට ඔයාගේ...........
වෙනස් වීමයි එකම දේ හැම 
වෙනස් නොවෙනා ලෝකයේ........

-- ල් --

Wednesday, September 17, 2014

රැල්ලක් වෙන්නට.....





සයුර හැමදා වෙරළ සිම්බට
අයිති නෑ සුදු රැල්ල වෙරළට
ආව මතකය හද පුරෝගෙන
වෙරළ ඉන්නේ සෙනේ අත ගෙන
ඊයේ අද හෙට කෙදින ආවත්
තාම රැල්ලට ආදරේ ඇත
මන්ද සයුරට රැල්ල පොඩි මුත්
අහිමි වෙරළට මහ මෙරකි එය
දුන්නු මතකය සිදී යන්නට
නොදී එනු මැන රැල්ල හනිකට
වෙරළ තාමත් මග බලාගෙන
තෙතමනය නුඹ ලග නිසාමය......

----- කල්ප -----