Saturday, December 31, 2011

නව වසරේ අපිත් අළුත් වෙමු...


ඔන්න මුලින්ම ප්‍රාර්ථනා කරන්නම් වැහි පොදත් එක්ක එකතුවුන ඔයාලා හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වෙන්න කියලා.....ඉතින් යාළුවනේ මේ මොහොතේ ඉදලා අපිට අළුත් දවසක් උදාවෙලා තියෙනවා.එහෙම නේද? අළුත්ම අළුත් වසරක්.වසර 4 කට පසු ඔන්න දවස් 366 අපිට මේ අවුරුද්දේ මුණගැහෙනවා.ඒ කියන්නේ අපිට වෙනදට වැඩිය දවසක් මේ අවුරුද්දේ වැඩ කරන්න වෙනවා කියන එක.හරි ඒ කොහොම වුනත් මේ උදාවුන නව වසරේ ඔයාලත් බලාපොරොත්තු ගොන්නක් පොදි බැදගෙන නේද මේ වන විටත් ඉන්නේ.නැත්නම් දැන්ම හදාගන්න. මේ අවුරුද්ද ඉවර වෙද්දී මෙන්න මේ ඉලක්ක වලට මම කොහොම හරි යනවා කියලා.මොකද දන්නවද යාළුවනේ ඉලක්කයක් නැති ජීවිතය හරියට නිකන් මාලිමාවක් නැති නැවියෙක් වගේ.....අනික බලාපොරොත්තු තමයි මිනිස්සු ජීවත්කරන්නේ..හොදට හිතලා බලන්න ජීවිතේ සමහර අවස්ථාවලදී අපිට මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වුනා නේද?? ඒත් අපි අපේ බලාපොරොත්තුව සුන් නොකර කාලයට ඉඩ දීලා බලා හිටියා නේද...

ඉතින් ගිය අවුරුද්දේ සිදුවූ සියළුම දුක්ඛිත කාරණාවන් අදින් අමතක කරලා දමන්න.ඔයාලගේ අනාගතයට ඒ කුණු අරන් යන්න එපා.ඒවා අතීතයට එකතුවෙන්න ඉඩ හරින්න.මොකද අළුත් අවුරුද්දක අපි අළුත් වෙමු.අළුතෙන්ම හිතමු.ජීවිතය කියන්නේ දුකම නෙමේ,සතුටයි දුකයි දෙකම සමිශ්ර නයක් තමා ජීවිතය කියන්නේ.ඉතින් මගේ යාළුවනේ මිනිස් ආත්මයක් ලබා ඉතා කෙටි කාලයක් ජීවත් වන අපි ඇයි ඒ කුඩා කාලයත් දුකින් ඉන්නේ.ජීවිතය කියන මාර්ගය අධිවේගයෙන් යන්න අපිට අවස්ථාව දීලා නෑ.ඒක අපි හැමෝටම පොදුයි.ඔයාලම හිතලා බලන්නකෝ අපි මේ වනතෙක් ආ ජීවන මාර්ගයේ කොයි තරම් නම් කටු කම්බි,ගල් බොරළු තිබුනද? ඒත් අපි අපේ ගමන නැවතුවේ නෑ නේද... අපි අපිට පුළුවන් විදියට ඒ බාධක ජය ගත්තා.අන්න ඒකට අපේ ලගම හිටියා අපේ හොදම හිතවතා..කවුද ඒ? එයා තමයි අපේ ආත්ම විශ්වාසය.ඉතින් එයා හැමදාටම අපිත් එක්ක ඉන්නවා අපි හිතින් ශක්තිමත් නම්.ඔයාලා අහලා ඇති යාළුවනේ කතාවක් තියෙනවා

“ඔබ දුප්පතෙක් ලෙස ඉපිද දුප්පතෙක් ලෙසම මිය යන්නේ නම් එහි වරද ඔබේමයි....”

අපි හැමෝම පොහොසත්..සල්ලි කියන්නේ ජීවිතයම නෙමේ ඒත් සල්ලි හම්බ කරගන්න අපි හැමෝටම පුළුවන්.ඒකට තමයි අපිට ගොඩාක් පොහොසත් අපේ හිත අපිට දීලා තියෙන්නේ.ඒක මතින් තමයි අපේ මුළු ජීවිතයේම අනාගතය තීරණය කරන්නේ.මේ අළුත් අවුරුද්දේ ඔයාලා හැමෝම ඔයාලගෙ හිත් අළුත් සිතුම් පැතුම් වලින් පුරව ගන්න.හැබැයි කොයි වෙලාවේදී වත් ඍනාත්මක ඒවා නම් ඔය චූටි හිතට දා ගන්න එපා.මොකද ඒ ඍනාත්මක අදහස්,ඒ ප්‍රාර්ථනා අපේ හිත් මොට්ට කරනවා.ඔයාලා අහලා තියෙනවද යාළුවනේ මේ කතාව......

අශ්වයාගෙයි ,බූරුවාගෙයි චින්තන වෙනස ගැන මෙන්න මෙහෙම සදහනක් තියෙනවා.ඔයාලා දන්නවද බූරුවාගේ කන් තිබෙන්නේ පිටු පසට හැරිලා..ඒ කියන්නේ ඌ හැම තිස්සෙම අතීතයට කන් යොමාගෙන ඉන්නේ.ඒකනේ යාළුවනේ බූරුවා හරිම අලස සතෙක් ලෙස අපි දකින්නේ.අන්න ඒකට අශ්වයා උගේ කන් තියෙන්නේ ඉස්සරහට හැරිලා ඒ කියන්නේ හැම වෙලේම කන් යොමාගෙන ඉන්නේ අනාගතයට.අන්න ඒකයි ඌ හරිම කාර්යශීලි සතෙක් ලෙස අපි දකින්නේ.

ඉතින් යාළුවනේ ඔබත් අළුත් සිතුම් පැතුම් එක්ක අළුත් ජීවිතයක් ආරම්භ කරන්න.තමන්ගේ උපරිම චිත්ත ශක්තිය හා කාය ශක්තිය ඒ සදහා යොදවන්න.ඔයාලට පුළුවන් යාළුවනේ මේ ලෝකේ හිතනවනම් බැරි වැඩක් නෑ.අළුත් වසරේ අළුත් මං පෙතක් තෝරා ගන්න.ගල් බොරළු තිබුනත් ධෛර්යයෙන් ඉස්සරහට යන්න.ගිහින් ආපසු හැරිලා බලන්න ඔයාලටම සතුටු හිතෙයි ඔයාලා ගැනම.මොකද යාළුවනේ කතාවක් තියෙනවනේ කරගැට නැති අත් වලට රන් පදක්කම් වටින්නේ නෑ කියලා.ඉතින් හැමෝගෙම හිත් වල තියෙන හැම චූටි බලාපොරොත්තුවක් ඒ ආකාරයෙන්ම ඉටුවෙන්න කියලා වැහි පොදින් මම ප්‍රාර්ථනා කරනවා.ඔයාලගේ අදහස් උදහස් මට ගොඩාක් වටිනවා.දිගටම අපිත් එක්ක ඉන්න කියලා ආදරයෙන් මතක් කරනවා....ඉතින් අළුත් අවුරුද්දේ අළුත් දේවල් ටිකක් අරන් වැහි පොදින් හමුවෙමු...මගේ යාළුවෝ හැමෝටම සුභම සුභ නව වසරක් වේවා!!! සැමටම ජයෙන් ජය!!

___කල්ප___

සදවත.....


අමාවක වූ මා සිත් අහස
එලිය කලා සදක් විලසට පායා ඔබ
නියගයෙන් වියැලුනු මා හද මඩලට
කඩා වැටුනා නුඹ වැස්සක් විලසට
ඉතින් ඉන්න හැමදාටම
මා සුසුම් තුරුලට ගෙන
හිනැහෙන්න මා සදවත
මේ සසරේ රැදි තුරාවට......

__කල්ප__

Monday, December 26, 2011

තාත්තයි අප ජීවිතේ........



පිය මනින්නට මං පෙතක් සෑදු
නුඹයි නිරිදුන් අපෙ ලොවේ
නුඹේ සුලැගිල්ලේ පැටලෙමින්
පා තැබූ හැටි මතකයි අද මෙන්.....

දෙවැනි නැත වෙන කිසිම දෙයකට
නුඹේ සෙනෙහේ අපෙ ලයේ
දොරේ ගැලුවා ඔබේ වීරිය
සනසවන්නට අපි මෙසේ.....

හයිය හක්තිය මෙන්ම සියුමැලි
දරදඩු වු නුඹෙ උරපතේ
හිස තියා අප නිදි කලා ඔබ
තාත්තයි අප ජීවිතේ........

___කල්ප___

Friday, December 23, 2011

තවම සුවදයි අම්මේ නුඹ මට


නොනිමි සෙනෙහස ඇත්තේ ඇය ලග
නොනිදවා නෙත රැක්කේ අපි සැම
රක්ත පැහැ රුධිරයත් කිරිකර
දෝරේ ගැලුවා ඇගේ සෙනෙහස

ගලායන වදනකින් ඈ මුව
පවා සෙනෙහස දැනෙනවා මට
ආදරෙයි මම හෙටත් නුඹ හට
සසර ගමනේ රැදි තුරාවට

පපු කැවැත්තට තුරුළු කරගෙන
කදුළු නැවතුවෙ අපේ ඇස්වල
දැනෙනවා ඇගේ හදේ උණුහුම
තවම සුවදයි අම්මේ නුඹ මට

____කල්ප_____

Thursday, December 22, 2011

ශ්‍රී මහා පත්තිනි දේවිය


ඔන්න යාළුවනේ ටික දවසකට පස්සේ ආයෙත් වැහිපොදින් මම ආවා ලස්සන කතාවක් අරගෙන.කතාවක් කිව්වට මේක ඇත්තටම දෙවි කෙනෙක් ගැන නොදන්න අප්‍රකට තොරතුරු විදහා දැක්වීමක්.හරි ඔන්න මම අද කියන්න යන්නේ පාරිශුද්ධත්වයට අධිපති දේවතා වහන්සේ ගැන.කවුද දන්නවද ඒ? ඇය තමයි මහා පත්තිනි දේවතාවිය.

මුලින්ම අපි හොයලා බලමු ඇයගේ උපන් කතා වස්තුව සම්බන්ධ රස කතාවක්.හරි පත්තිනි දේවියගේ උපත සම්බන්ධයෙන් අපේ ජනවහරේ නොයෙකුත් අදහස් තියෙනවා.ඉතිහාසයේ සමහරක් තැනක පත්තිනි දේවිය “හත් පත්තිනි ,දොලොස් පත්තිනි” ආදී නම් වලින් හදුන්වනවා.එයට හේතුව වන්නේ ඇයගේ උපත සත් වරක් හෝ දොලොස් වරක් සිදුවී යැයි මතයක් තිබෙනවා.
හත් පත්තිනි ලෙස හදුන්වන්නේ ඇය දියෙන්,දලෙන්,ගලෙන්,ගින්නෙන්,අඹෙන්,කුලෙන්,මලෙන් යන ආකාරයෙන් සත් වාරයක් උපන් නිසාලු.

දොලොස් පත්තිනි ලෙස හදුන්වන්නේ ඇය පිනි බිංදුවෙන්,දලෙන්,දෙමට මලෙන්,ගලෙන්,සළුවෙන්,නයි කදුලෙන්,අඹෙන්,සුලගින්,සළඹෙන්,ගිනි දැල්ලෙන්,සිගා රැල්ලෙන් යන ආකාරවලට උපන් නිසාලු.ඔය කොහොම වුනත් පත්තිනි දේවියගේ උපත් ගනන නම් හතකට වඩා වැඩි බව අපට පැහැදිලියි.ඒ සදහා ඇය ගැන පවසන පහත කවියද සසදා බලන්න යාළුවනේ......

ජලෙනි,දලෙනි,මලෙනි,සලඹ වරෙක උපන්නා
ගලෙනි,කුලෙනි,සළුවෙනි එක් වරෙක උපන්නා
අඹෙනි,දඹෙනි,නයි කදුලෙනි වරෙක උපන්නා
එවැනි තෙදැති පතිනි මෙලක දිවබල පෙන්නා

ඔරුමාල පත්තිනි,වැඩිමොඩි පත්තිනි,ශිව පත්තිනි,සිද්ධ පත්තිනි,ගිනි පත්තිනි,තෙද පත්තිනි,ජල මේඝ පත්තිනි,මල් පත්තිනි,කනක බිසෝ,ශ්‍රී මහා පත්තිනි,අම්මා දේවිය,හලඹ කුමාරි,කිරි අම්මා,මා පත්තිනි,වීර පත්තිනි,සිරිමා පත්තිනි,හදුන් කුමාරි ආදී නම් වලින්ද මැයව හදුන්වනු ලබනවා.

පත්තිනි උපත ගැන මෙන්න මෙහෙමයි කියවෙන්නේ....................



ඉස්සර පඩි නම් රටේ පඩි නම් රජ කෙනෙක් රජ කලා.ඉතින් මේ රජුට තිබුනා අක්කර ගනනක් ලොකු අඹ වනයක්.ඒ කාලෙ අඹ අවාරේ.ඒත් මේ වනයේ එක ගසක හදිසියේම කල ගෙඩියක් වගෙ විශාල අඹ ගෙඩියක් හටගත්තා.ඉතින් මෙම අරුම පුදුම අඹේ ගැන උයන බාරව හිටි උයන් පල්ලා රජ තුමාට දැන්නුවා.රජතුමා බොහෝ සෙයින් සතුටු වී මෙම අඹය නෙලා ගෙන එන්න තමන්ගෙ හේවායින් එක්ක වනයට ගියා.ඇත්තටම ඒ අඹය හරිම ලොකුයි. ඉතින් රජතුමා තමන්ගේ හේවායින්ට මේ අඹය දුන්නෙන් විද බිමට හෙලන්නට අණ කලා.

ඉතින් යාළුවනේ හේවායින් අඹ ගෙඩිය වෙත ඊතල ප්රලහාර එල්ල කලා.ඒත් රජතුමාගේ අතිදක්ෂ කිසිම හේවායෙකුටවත් මේ අරුම පුදුම අඹ ගෙඩිය අසලින් වත් යන්න හී විදින්න බැරි වුනා.බලන්නකෝ ඒකෙත් හැටි.ඉතින් අඹය නෙලා ගන්න බැරිවුනු කල රජතුමා රට පුරා අණබෙරයක් යැව්වා මේ අඹය නෙලා දෙන්න රටවැසියෙකුට ඉදිරිපත් වන ලෙස.මේ පුවත දැන ගත් ශක්රණ දෙවියන් මහල්ලෙක් විලස උයනට පැමිණියා.ඔහු දුටු රජුට හා හේවායින්ට සිනා පහල වුනා.නමුත් අන් අයගේ උසුළු විසුළු මැද සක් දෙවිදු එක් හී පහරකින්ම අඹය බිමට හෙළුවා.මෙහිදී නොසිතූ සිදුවීමක් සිද්ධ වුනා.යාළුවනේ මේ පඩි රජතුමාට ඇස් තුනක් තිබුනා.ඉතින් අඹය කඩන අයුරු දෙස උඩ බලා සිටි පඩි රජතුමාගේ නලල මත තිබු ඇස මතට අඹ නටුවෙන් ගලා ආ කිරි බිංදුවක් වැටිනි.එම කිරි නිසා ඔහුගේ එම ඇස අන්ධ වූ බව පැවසෙනවා.තම ඇස අන්ධ කල අඹය කෙරේ කෝපයට පත්ව පඩි රජු අඹය පාරුවක තබා ගග දිගේ පහලට පා කර හැරියේ එයින් තමාට මෙන්ම තම රටටද කරදරයක් වේවි දෝ යැයි සිතාගෙන.

ඉතින් යාළුවනේ මේ අසාමාන්යම අඹය ගග දිගේ පහලට පාවී එනවිට ගග පහල දිය නාමින් සිටි තාපසවරයෙක්ට හමුවුණා.මේ විශාල අඹය දුටු ඔහු එය ගගෙන් ගොඩට ගෙන තමාගේ අසපුවට ගෙන ගොස් ආරක්ෂිත තැනක තිබ්බා.ඔන්න ඉතින් ඒ පාර සිද්ධ වුනේ අරුම පුදුම දෙයක්.හරියටම සත් දිනකට පසු මේ විශාල අඹ ගෙඩිය පැළී ඒ තුලින් අතිශයින්ම රෑමත් කුමාරිකාවක් උපත ලැබුවා. ඇය එතැන් සිටපත්තිනි නමින් හැදින්වූවා.

ඔන්න ඔහොමයි පත්තිනි උපත ඉතිහාසයේ දැක්වෙන්නේ.....හරි ඊලගට අපි හොයලා බලමු ඇය ගැන තව විස්තර ටිකක්........



රූප කායෙන් අති සුන්දර ලදක් වූ පත්තිනි දේවිය තරුණ වියට එලඹීමත් සමග තම ගම් ප්රලදේශයට භාණ්ඩ වෙලදාමට ආ පලග නම් තරුණයෙක් හා සරණ පවා ගත්තා.පත්තිනිය තම සැමියාට ඉතාම පති භක්තියෙන් හා ආදරයෙන් සලකාගෙන ජීවත් වුනත් පලග තුල නම් ඇය කෙරේ එවැනි තත්වයක් තිබුනේ නෑ.ඔහු පෙරුම්කාරී නම් නලගනක් සමග අනියම් සම්බන්ධයක් පැවැත්වූවා.අනියම් සම්බන්ධතාවයට අමතරව ඔහු සූදු කෙලියටද පුරුදු වුනු නිසා දිනෙන් දින ඔවුන් අන්ත අසරණ තත්වයට ඇද වැටුනා.

දිනක් පත්තිනිය තම සැමියාට තම පාදයේ බැදි සලඹ දුන්නේ මුදල් අගහිගකම් හේතුවෙන් මදුරා පුරයට ගොස් එය විකුණා ගෙන ඒමටයි.ඉතින් යාළුවනේ පලග පත්තිනියගේ සලඹ විකුණාගන්නට මදුරාපුර බලා පිටත් වුනා.එහිදී ඔහුට නොසිතූ විරූ කරදරයකට මුහුනපාන්නට සිද්ධ වුනා.මදුරාපුර දේවියගේ රන් සලඹක් මේ කාලයේදීම සොරුන් විසින් පැහැර ගෙන තිබුනා.ඉතින් සොරා සොයමින් ඇවිද්ද මදුරාපුර රාජ සේවකයින් පලග සමග පත්තිනි සලඹ අත්අඩංගුවට ගත්තේ එකී සලඹ දේවියගේ සලඹ යැයි වරදවා වටහා ගනිමින්.එය කෙසේ වුනත් මදුරාපුර දේවියගේ සලඹ සොරකම් කිරීමේ වරදට පඩි රජු විසින් පලගට මරණ දඩුවම නියම කලා.මේ ආකාරයට නිවරැද්දේ වැරදිකරුවෙකු වූ පලග අමු සොහොනකට ගොස් මරාදමා ඔහුගේ මලකද කොසඹ රුකක් යට පසින් යට කලා.මේ බවක් නොදත් පත්තිනිය තම සැමියා එනතෙක් මග බලන් සිටියා.

දිනක් ඇය නපුරු සිහිනයකින් තම සැමියා මරණයට පත්ව සිටිනු දුටුවා.ඒ වේලාවේම පඩි පුරයට ගිය පත්තිනිය ඔහු පිලිබද සොයා බලන්නට වුනා.විස්තර සොයා බැලීමේදී තම සැමියා හට උරුම වූ අකල් මරණය ඇයගේ කන වැකුනා.මෙයින් බලවත් ශෝකයට හා දුකට පත් වූ පත්තිනිය සැමියාට තිබූ පති භක්තිය මුල් කරගෙන සැමියා හට අකල් මරණයක් උරුම කල සියල්ලන්ගෙන්ම පලි ගන්නට සිතා ගත්තා.ඔහු තමා හට කුමන වෙනස්කම් සිදු කලත් ඈ ඔහු කෙරේ තිබූ ස්වාමි භක්තිය මෙයින් මනාවට පැහැදිලි වෙනවා නේද යාළුවනේ....ඉතින් ඇය තමාගේ වම් පියයුර කඩා පඩි පුර පොලොවේ ගසමින් මුළු පඩි පුරයටම සාප කරන්නට පටන් ගත්තා.පත්තිනියගේ මේ ශාපයෙන් පඩිපුරම ගිනි ජාලාවක් වී අධර්මිෂ්ඨ පුද්ගලයින් සියල්ලම මේ ගින්නෙන් ඇවිලෙන්නට වුනා.පුරාණ පොත්පත් වල කියවෙන පරිදි අවසානයේ ඇය තමන්ගේ පතිව්රේතා බලයෙන් පාලගට පණ දී කිරි උතුරවා පඩි පුරයටම සෙත් පැතුවාලු.



ඉතිහාසයේ සදහන් වන පරිදි පත්තිනිය ඉතා බලගතු දේවියක වන්නේ ඇය තුල පැවති පති භක්තිය හේතු කොට ගෙනය.අදටත් කිරි අම්මා දානයක් දීමේදී පත්තිනිය හට පුද කරනුයේ ඇය සැබවින්ම දේවත්වයෙන් පිරිපුනා ආදරණීය මාතාවක් නිසා කියලයි ජන වහරේ පවතින්නේ.ඉතින් මගේ යාළුවනේ විටෙක සත් පත්තිනි තවත් විටෙක දොලොස් පත්තිනි ලෙස හදුන්වන්නා වූ මේ දේවතාවිය තිස් දහසක් නාග මානකාවියන් පිරිවරාගෙන නවගමුවේ දේවාලයෙහි වැඩ සිටිනා බවට බැතිමතුන්ගේ මතයක් පවතිනවා......





එමනිසා විශේෂයෙන් කුඩා ලමයින්,කිරි අම්මා වරුන්,හා කාන්තාවන් අදටත් නවගමුවේ දේවාලයෙන් පත්තිනියගෙන් ආශිර්වාද ලබා ගන්නට බොහෝ සෙයින් පැමිණෙනවා.....

ඉතින් යාළුවනේ ලිපිය ගැන ඔයාලගේ අදහස් දක්වන්න කියලා වැස්සෙන් ආරාධනා කරනවා......මොකද ඒවා වැහි පොදේ ඉදිරි ලිපි වලට ලොකු අත්වැලක් වෙනවා...නැවත හමුවෙනකම් ඔබට ජය!!

Tuesday, December 20, 2011

මගේ ජීවීතේ.......


හිමිදිරි ඒ අහස් කුසට
පැහැබර හිරුකිරණ ඔබය
රෑ අහසේ දගකරනා
සදකැන් ගොමුවත් නුඹමය
නිමා නොවන සසර ගමනේ
මා නැවතුම්පල නුඹය
හිත ලග සෙනෙහස දැවටූ
නුඹ ලග මගෙ ජීවිතයම

___කල්ප___

Friday, December 16, 2011

ගණ දෙවිදුගෙ ඇත් හොඩවැල

ඔන්න දේව ඉතිහාසයේ කතා ගොන්නේ දෙවැනි කතාව අරන් මම අද ආවේ.කරදිය වලල්ල කතාවට ලැබුන ප්‍රතිචාර එක්ක හිතේ සතුට බොහෝමයි.අපි දන්න දෙවියන් ගැන නොදන්න කතා ටිකක් අහන්න අපි කවුරුත් ආසයිනේ..ඇත්තටම මේවා නිකන් ගොසිප් වගේ නේද?....හි හි හි ඒත් රසවත් බව නිසා ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවේ...හරි අද කතාව මෙන්න මේකයි.

ඔයාලා කලින් කතාවෙත් අහන්න ඇතිනේ ගණ දෙවියන් ගැන.අදත් ඔන්න එයා තමයි අපේ කතා නායකයා.අද මම කියන්න හදන්නේ ගණ දෙවියන්ට හොඩවැලක් ලැබුනේ කොහොමද කියලා කියන්න.ඔයාලා දැකලා ඇතිනේ යාළුවනේ ගණ දෙවියන්ට තියෙන්නේ ඇත් මූනක් සහ දේව ශරීරයක්.ඉතින් මේ ඇත් මූණ ලැබුන හැටි ගැන තමා මේ කතාව.



ගණ දෙවියන්ගේ මල්ලි තමා කතරගම දෙවියන්.කතරගම දෙවියන් ගොඩාක් ලස්සන දෙවිකෙනෙක්...මේ බලන්නකෝ


ඉතින් තරුණ වයසට ඒමත් සමගම කතරගම දෙවියන් කතරගම කන්ද තම වාස භූමිය කරගෙන වාසය කරන්නට වුනා.ඉතින් තම යහළු දෙවියන් එක්ක දිනක් මොහු සංචාරයේ යෙදෙන්නට වුනා.ඔන්න ඔහොම කට්ටියම මැණික් ගග දිගේ ඇවිදගෙන ආවා.එහෙම එද්දී දේව පිරිසට සුන්දර දර්ශනයක් නෙත ගැටුනා.මොකක්කද දන්නද ඒ?...දේවතාවියන් පිරිසක් මැණික් ගගේ බැස දියකෙලින ආකාරය.තරුණවියේ පසුවූ සියළුම දේවතාවියන් ඉතාමත් දැකුම්ළු දර්ශනයක් බවට පත්වුනා.ඉතින් උසුළු විසුළු කරමින් දිය කෙලින මේ සුර ලදුන් දිහා තරුණ දේව ගැටයන් ඇසිපිය නොහෙලා බලන් හිටියා.

ඔය කට්ටිය දිය කෙලිය තැන අද හදුන්වන්නේ සෙල්ල කතරගම කියලා.අහලා ඇතිනේ මගෙ යාළුවෝ.අද නම් මේ ස්ථානය එදා වගේ නෑ..වෙනස් වෙලා


ඉතින් ඔන්න කතරගම දෙවියනුත් මේ කාන්තාවන් දිහා මන්මත් සිතින් බලා සිටියා.මේ අය අතුරින් එක් දේවියක් දිහා කන්ද කුමරුගේ නෙත හොරැහින්ම වෙන් වුනා.ඔහු ඈ දෙස අන් අයට වඩා විමසිල්ලෙන් බැලුවා.නීල වර්ණ වරලස,කාන්තිමත් නෙත් දෙක,සුන්දර රූ සපුව කතරගම දෙවියන්ගේ නෙත් නිතැතින්ම ඇයට වශී වුනා.මේ සුන්දර දේව කන්‍යාවිය වෙන කවුරුවත් නෙමේ අපි දන්නා වල්ලි අම්මා යි.ඒ වන විට තරුණ වියේ පසු වූ ඇය අතිශයින්ම සුර ලදක් සේ දිස්වුනා.


පේනව නේද ඇයගේ රූප ශ්‍රීය.ඉතින් මේ දේව දූතිය කෙරේ කතරගම දෙවියන්ගේ සිතේ ආදරයක් ඇතිවුනා.ඉතින් හිතේ පැලවෙච්ච මේ ආදරයත් එක්ක කතරගම දෙවියන් දේව මාලිගයට යන්න පිටත් වුනා.කාලයත් එක්ක කන්ද කුමාරයාගේ හිතේ ආදරය කෙමෙන් වැඩි වන්නට වුනා.ඉතින් වල්ලි මාතාවට තමාගේ හිතේ තිබෙන ආදරය ප්‍රකාශ කලත් ඇය ඒක ප්‍රතික්ෂේප කලා.බලන්න ඉතින් යාළුවනේ අද කාලේ කෙල්ලො වගේමයි නේද ඒ කාලෙත්.. ඉතින් හිතේ ඇති වෙචිච ආදරය ගැන දුක් වෙවී කතරගම දෙවියන් කාලය ගත කලා.කතරගම දෙවියන් හට වුවමනා වුනා වල්ලි අම්මාට තමා කෙරේ පැහිදීමක් ඇති වන යමක් කිරීමට.මේ ගැන කල්පනා කරන අතරතුරේදී ඔහුය තම සොහොයුරා මතක් වුනා.ඒ කියන්නේ ගණ දෙවියන්.ඔයාලා දන්නවනේ ගණ දෙවි නුවණ කියන්නේ ලේසි පාසු කාරණයක් නෙමේ.ග‍ණේෂ් ට තිබුණා අනෙක් දෙවියන්ට වඩා සූක්ෂමව දුරදක්නා සිතිමේ නුවණක්.කරදිය වලල්ල කතාවෙන් ඔයාලට ඒක තේරෙන්න ඇතිනේ.ඔන්න ඉතින් කතරගම දෙවියන් තමාගේ ගැටළුව තම අයියාට ඉදිරිත් කලා.අයියා මලෝ අතරේ දුරස් බවක් නෑනේ.මලිලීගේ කතාව අසා ගණ දෙවිදුන් සිනාසෙන්නට වුනා.

“මල්ලී ඇය ඔබ හට ආදරය නැතුවා නොවේ..ඒත් කාන්තාවන් එකහෙලා තම ආදරය දැක්වීමට මැලි වෙනවා....මම දිනක් ගග අසබඩ සිටිද්දී මට ඇහුනා වල්ලි උඹ ගැන මොනවදෝ අනික් එවුන් එක්ක කතා කරනවා.උඹ ඇයට උඹේ දස්කම් පෙන්නපන්..එවිට ඇගේ හිත ඔබ කෙරේ බැදේවි....“ ගනේෂ් කියන්නට වුනා.

“ඉතින් අයියන්ඩි කියන්න මා කුමක් කරම්ද කියා“ කතරගම දෙවියන් හටද නොඉවසිලිය.

ගණ දෙවිදුන් ටිකක් වේලා කල්පනා කරන්නට වුනා.

“මුරුගන් (කතරගම දෙවියන්)! අපි මේ සදහා මේ වගේ දෙයක් කරමු...වල්ලි ඊලග කුජදා අනික් එවුන් හා දිය කෙලින්නට සෙල්ල කතරගමට එනවා..සුපුරුදු පරිදි.“

“ඔව් ඔව් ඉතින් ඉතින්“

“වල්ලි දිය නාන වෙලාවට අපි යමු එතනට.එතනදී මම ඇත් වේශයක් මවාගෙන ගං ඉවුරට එන්නම්..මට බයේ උන් හිස් ලූලූ අත දුවන්න ගනී.එතකොට මම වල්ලි පස්සේ පන්නන්නම්.මට බයේ වල්ලි දුවද්දී උඹ ඇවිත් ඒකිව මගෙන් බේරා ගනින්.වල්ලි උඹේ වීර ක්‍රියාව දැකලා නිසැකවම උඹට බහ දෙනු ඇත“

“හොද අදහසක් අයියණ්ඩි“ කතරගම දෙවියන් සතුටින් පිනා යමින් කීය.

ඉතින් ඔන්න යාළුවනේ කතිකාකරගත් පරිදි එම දිනයට කතරගම දෙවියන් හා ගණ දෙවියන් සෙල්ල කතරගම බලා පිටත් වුනා.වල්ලි අම්මා පැමිණෙන තෙක් ඔවුන් ගසකට මුවා වී බලා සිටියා.ටික වේලාවකින් දේව කන්‍යාවියෝ පිරිස දිය කෙලීමට ගං ඉවුරට පැමිනුනා.

“මල්ලී ! මම දැන් යනවා වල්ලිව බය කරන්න.උඹ කතා කරගත්තා වගේ ක්‍රියා කරන්න.මේකත් මතක තියා ගන්න.වැඩේ ඉවර වූ වහාම මෙන්න මේ පැන් කෙන්ඩියෙන් පැන් ටිකක් මගේ ඇගට ගසන්න.ඉර බැස යන්න කලින් පැන් ටිකක් ඉහින්න නම් අමතක කරන්න එපා.“ කියමින් ගණ දෙවියන් කතරගම දෙවියන් අත මන රන් පැන් කෙන්ඩියක් තැබුවා.

ගණ දෙවියන් බියකරු ඇත් වේශයක් මවා ගෙන ගං ඉවුරට ඇදෙන්නට වුනා.ගග දෙසට එන හස්තියා දුටු සුර ලියන් ඔබ මොබ අත දුවන්නට වුනා.ගණ දෙවිදුන් වල්ලි අම්මා පිටුපස පන්නන්නට වුනා.තමා පිටුපස එන දැවැන්ත හස්තියා දුටු ඇය වේගයෙන් දුව යන්නට වුනා.නමුත් ගණ දෙවියන් ඇයට කිට්ටු කලා.මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් කතරගම දෙවියන් වහා පැන හස්තියා මෙල්ල කර වල්ලි අම්මාව ගණේෂ් ගෙන් බේරා ගත්තා.


ඇතාට බයේ සිටි වල්ලි සිහිසුන් නැති තත්වයේ පසුවුනා.වහා තම අත රැදි පැන් කෙන්ඩියෙන් ජලය අතට ගත් කතරගම දෙවියන් වල්ලි අම්මාගේ මුහුණට පැන් ඉස්සා.ඉන්පසු ඇය නැවත යථා තත්වයට පත්වුනා.කතරගම දෙවියන් වල්ලිව ආදරෙන් තමාට ලං කර ගත්තා. ආදරයෙන් වැලදගෙන සිටි කතරගම දෙවියන් හට තම සොයුරාගේ ඉල්ලීම අමතක වුනා.වල්ලි අම්මා සමග පෙම් බස් දෙඩූ ඔහුට සවස් වෙද්දී තමයි පැන් කෙන්ඩිය මතක් වුනේ.බලන්නකෝ වෙච්ච වැඩේ...ඔහු හනික කලබලෙන් ගණ දෙවියන් සොයා ගියා(ඇතාව).හනික පැන් කෙන්ඩියෙන් පැන් ඉහින්න හැදුවත් වල්ලි අම්මාට පැන් ඉස්ස නිසා පැන් කෙන්ඩියේ පැන් තිබුනේ ඉතාම ස්වල්පයයි.ඔහු හනික එම පැන් ටික ගණේෂ්ගේ ශරීරයට ඉසිනු ලැබුවා.ඒත් සමගම ඉර බැසයන්නට වූ හෙයින් ගණේෂ් ගේ ශරීරය පමණක් යලි යථාතත්වයට පැමිණියා.ගණ දෙවියන්ගේ මුහුණ ඇත් මුහුණක් බවට මේ හේතුව නිසා පත්වුනා.ඉතිං යාළුවනේ ඔන්න එදා ඉදලා ගණ දෙවියන් ඇත් මුහුණක් ඇති දේව ශරීරයක් ඇති දෙවි කෙනෙක් වුනා.නමුත් ඔහුගේ නුවණ නම් දිනෙන් දින මෝරන්නට වුනා.

එදා ගණ දෙවි නුවණින් කතරගම දෙවියන් වල්ලි අම්මා තමා කෙරේ ඈදා ගත්තා.පසු කලෙක ඔවුන් දෙදෙනා විවාහ වී කතරගම කන්ද වාසභූමිය කරගෙන ජීවත් වුනා.මොන දේ වුනත් ගණේෂ් හා මුරුගන් අතරේ තිබුන සහෝදර ප්‍රේමයට නම් අඩුවක් වුනේ නෑ....

බුදු පියාණෙනි.....


සන්සුන් ගතින්
කරුණා නෙතින්
දයා සිතින්
පාරමී දමින්
සියලු දන හට
නෙත් යොමන්නේ
අනුකම්පාවෙන්


___කල්ප____

සීතල දුරුත්ත.....


දුරුත්ත හීතල ඇවිදින්
දැවටෙනවා මගෙ සියොලග
සිහින් පිච්ච මල් සුවදක්
එනවා මද පවන සමග
සිනාසුනා නුඹ මා ලග
ආදරබර වදන් එක්ක
සොයා ඇවිත් ආල හිතක්
දෙන්නෙ කෙලෙස නුඹහට එය


____කල්ප_____

පැහබර සිහිනය


ඈත නිම් වලල්ලෙන්
මීදුමෙන් මුදු සළුව දවටන්
නාදයෙන් මන විහග ස්වරයෙන්
නැවුමු හැගුමන් අරන්
නුඹ ඇවිත් මා අවදිකලා...
මගේ සිත සෙනෙහසින්
බර වුනා නොදැනිම හදින්
දරා ගනු බැහැ තවත්
කදුළු දහරක් ලෙසින්
නික්මුනා මා නෙතු මතින්

____කල්ප____

Tuesday, December 13, 2011

ඔයා මගේ සද නම්.....


ඔයා මගේ සද නම් ...
මම අහස වෙන්නද?
ඔයා මලක් නම්....
මම ඒ මලේ නටුව වෙන්නද?
ඔයා වැස්ස නම්....
ඒ වැහි බිංදු සිඹිනා පොලොව මම වෙන්නද?
ඔයා ආදරේ කරනවනම්....
ඒ මටම විතරක් වෙනවාද?

___කල්ප____

Sunday, December 11, 2011

Photoshop වලින් වැස්සක් හදමුද?...

ඔන්න යාළුවනේ වැහි පොදත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා වෙනුවෙන් අළුත්ම ලිපියක් අරගෙනයි මම අද ආවේ...වැහිපොදත් එක්ක ඉදගෙන වැස්සක් හදන්න කියල දුන්නෙ නැත්නම් ඒක නිකන් ලුණු නැති කිරි හොද්ද වගේ. fire effect එකට ඔයාලගෙන් ලැබුනු ප්‍රතිචාරත් එක්ක ඔන්න අද මම කියලා දෙන්න යන්නේ Photoshop භාවිතයෙන් ඡායාරූපයකට වැස්සක ස්වරූපයක් දෙන්නේ කොහොමද කියලා..හරි වැඩේ පටන් ගනිමු.

මුලින්ම ඔයාලට අවශ්‍ය පින්තූරය Photoshop වල open කරගන්න.ඊට පස්සේ මතක ඇතිව එහි duplicate එකක් ගන්න.මොකද දන්නවන යාළුවනේ අපි original picture එකම Photoshop වලදී සංස්කරණය කලහොත් අපිට පසුවට ගන්න ආයේ original පින්තූරයක් ඉතිරිවෙන්නේ නෑ.මම කියන දේ තේරෙනව ඇති ඔයාලට.

හරි ඔයාලගේ පින්තූරයේ duplicate එකක් ලබා ගැනීමට
Image --> Duplicate කියන විධානය භාවිතා කරන්න.

මේ තියෙන්නේ මම ඒ විදියට duplicate එකක් ලෙස ලබාගත් සංස්කරණය කරන්නට බලාපොරෙත්තු වෙන ඡායාරූපය.


ඊලගට ඔයාලා tool box එකින් Brush Tool එක select කරගන්න.මොකද අපි මේ නිර්මාණය කරන්නේ Brush Toll එකින් නිසා.

හරි ඊලගට Brush Presets කියන tab එකට යන්න.

ඒක select කලාට පස්සේ ඔයාලට ලැබෙනවා පහලට menu එකක්.මම මේ දක්වලා තියෙන ආකාරයට ඒකේ අගයන් වෙනස් කරන්න.අමාරුවක් නෑ යාළුවනේ...

මුලින්ම Brush Presets වල Brush Tipshape යන අවස්ථාව යටතේ එන අගයන් වෙනස් කරන්න.

ඒකේ තියෙන

Spacing = 500%
Angle = 900
Roundness = 5%
Hardness = 0


තව රවුමක් මැද "+" තියෙනව නේද...අන්න ඒ ඊතලය පහලට එන සේ සකසන්න.ඒකෙන් කරන්න වැහි බිංදු ඉහල සිට පහලට වැටෙන ආකාරයට සකස් කිරීමයි.

හරි Brush Tip shape වල settings හදලා ඉවරවෙලා එතනම පල්ලෙහා තියෙන Shape Dynamic අවස්ථාව තෝරාගන්න.එහි පහත සදහන් settings වෙනස් කරගන්න.

Size Jitter = 100%
එහි control = off
Minimum Diameter = 100%


හරි ඊලගට පහල තියෙන Scattering අවස්ථාව ගන්න.එහිත් පහත ආකාරයට settings සකසන්න.

Both Axes කියන තැනට tick එකක් දාලා එහි අගය 1000 කරන්න.
එහි Control = off
Count = 16
Count Jitter = 100%
control = off


ඕකේ...ඊලගට ඔයාලා පහල තිබෙන Other Dynamic අවස්ථාව තෝරාගන්න.
එහි පහත ආකාරයට සකසන්න.

Opacity Jitter = 100
Control = off

Flow Jitter = 90%
Control = pen pressure


හරි දැන් අපි අපිට වුවමනා ආකාරයට Brush එක සකසා ගෙන අවසන්.

දැන් අපි Image එකේ අදුරු ස්වභාවය පොඩ්ඩක් වැඩි කර ගමු.මොකද වහින වෙලාවට පරිසරය අදුරුයිනේ යාළුවනේ....හරි ඒක කරන්න මේ විධානය පාවිච්චි කරන්න.
Image --> Adjustments --> Shadow Highlights

එහි මෙන්න මේ ආකාරයට settings සකස් කරන්න.

Shadow menu එකේ සියළුම option වල අගය “0“ කරන්න.
Highlights වල Amount = 50
Total Width = 70

මම මේ පහත දාලා තිබෙන රූපයේ ආකාරයට සකස් කරගන්න.

හරි නේද යාළුවනේ.....
ඉතින් ඔන්න ඊලගට අපිට වුවමනා පින්තූරය select කරගෙන New layer එකක් open කරගන්න.ඒ සදහා
Layer --> New විධානය පාවිච්චි කරන්න.

හරි මීලගට අපේ පින්තූරයේ උඩ කොනක Brush tool එකින් Click කරලා(එක්වරක්) පින්තූරයේ පහලට විත් Keyboard එකේ Shift කී එක සමග click කරන්න.එවිට සියුම් වැහිබිදු වැනි පින්සල් පහරක් පින්තූරය මත ඇදේවි.මෙන්න මේ විදියට.

(ඔබ අවශ්‍ය පරිදි පින්සලේ ඝනකම අඩු වැඩි කරගන්න...ඒ සදහා keyboard එකේ කොටු වරහන් keys ප්‍රයෝජනයට ගන්න.)

ඉන්පසු Layer එකේ Blending mood එක සකසන්න.
Blending Mood = Soft light

ඉන්පසු ඔබට වැහි බිදු වැටෙන ආකාරයක් පින්තූරය මත දකින්නට හැකි වේවි.

Control + J key press කිරීම මගින් නව layers විවෘත කරගනිමින් මෙම පින්සල් පහරවල් ඇද මෙම ක්‍රියා පිලිවෙල නැවත නැවත සිදු කරමින් වැස්සේ තාත්වික බව වැඩි කරගන්න.


ඔබට අවසානයේ මෙවන් රූපයක් නිර්මාණය කරගත හැක.


වැඩේ හොද නරක ගැන comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා යාළුවනේ.ඔයාලගෙ අදහස් උදහස් මගේ ඉදිරි ලිපි වලට ලොකු හයියක්.....

Saturday, December 10, 2011

යලි එන්නේ කවදාද?...


අද අහිමියි නුඹ මට
දන්නවා මගෙ සිත එය
රිදුන හිත හංගගෙන
මග බලන් හිදින්නෙමි
නුඹෙ නමින් හැමදාම....

මගේ නෙතේ දුක මතින්
ජීවිතේ ඉදුරාම
පතන්නෙමි නුඹෙ සුවද
යලි එන්නේ කවදාද?....

කහවනු පෙනේ මේ කෙත් යාය පුරා.......


නලලත දිගේ දහඩිය බිදු ගලමින්නේ
දෑතේ කරගැටේ නිරතුරු මෝරන්නේ
ගිනියම් හිරු කිරණ ගත මත වැටෙමින්නේ
මේ හැම දුක් සුසුම් අපි හැම ඉවසන්නේ

සිහිලැල් සුළග පාවී රන් ගොයම මැදින්
එන්නේ සුවද රටහාලේ බත් පතකින්
දොලේ දියෙන් දෑත තෙමා නියර උඩින්
දිව භොජුනකිය අඹු ගෙනෙනා ඇඹුල ඉතින්

නිලට නිලේ දිලෙනා වෙල් දෙනිය මතින්
සුදුමුදු ජල කදකි ගලමින්නේ එමැදින්
දෙපසට නැමෙන රන්වන් කරලේ පැහැයෙන්
හිත බර වුනා බෝ සතුටින් නෙතේ තුටින්

දහඩිය කදුළු මුසු වී මේ පවන පුරා
අද දැනෙනවා ජීවන සුවදක් හමනා
වැහිදිය මතින් කල විස්කම් අපි සැවොමා
රන් කහවනු පෙනේ මේ කෙත් යාය පුරා

කරදිය වලල්ල

ඔන්න යාළුවනේ දේව ඉතිහාසයේ රසබර කතා ටිකක් අරන් ආවා ඔයාලත් එක්ක බෙදා ගන්න...


මහා ශිවදෙවියන්ට හා පාර්වතී මෑණියන්ට හිටියා සුවිශේෂි දරුවන් තුන්දෙනෙක්.මොවුන් සෑම අතින්ම පිරිපුන් අලංකාර රූපකායකින් හෙබි ලස්සන පිරිමි ළමයින් තිදෙනෙක්.ඔවුන් නම් මුරුගන් , ගනේෂ් , අයියාප්පන් ය.ඉතින් දේව ඉතිහාසයේ වැදගත් පරිච්ඡේද කීපයක් මොවුන් අතින් ලියැවුනා.එවන් දරුවන් තිදෙනෙකුගේ වාසනාවන්ත පියෙක් නිසා තමයි අදටත් දරුඵල වෙනුවෙන් බැතිමතුන් ශිව ලිංගයට ගරුබුහුමන් කරන්නේ.

ඉස්සෙල්ලා මේකත් අහගන්නකෝ මුරුගන් කියන්නේ අද අපි කතරගම දෙවියන් කියලා හදුන්වන්නේ අන්න එයාට.ගනේෂ් කියන්නේ අද අපි ගණ දෙවියන් කියලා හදුන්වන කෙනාට.ඉතින් ශිව පාර්වතී එක්ක මේ අය ගොඩාක් කෙලි දොලෙන් කාලය ගත කලා.


ඉතින් දවසක් තම ආදරණීය පුතුන් උකුලෙහි හොවාගෙන ශිව දෙවියන් උද්‍යානයේ අසුන්ගෙන සිටියා.පාර්වතී මෑණීයන්ද පසෙකින් ඉදගෙන සිටියා.ඔන්න ඔය වෙලාවේ ශිව දෙවියන්ට තම පුතුන් දෙදෙනාගේ(අයියාප්පන් සිටියේ නැත) දැනුම මැන බලන්නට සිතුනා.ගණ දෙවියන් තමා මොවුන් දෙදෙනාගෙන් වැඩිමහල් පුත්‍රයා.ඒ කියන්නේ කතරගම දෙවියන්ගේ අයියා.ඔන්න ඉතින් ශිව දෙවියන්
ඔවුන් දෙදෙනා තමා ලගට ගෙන මෙසේ පැවසුවා..

“මාගේ පුත්‍රයනි ! මම දන්නවා නුඹලා සෑම ශිල්පයෙන්ම විශිෂිඨයන් බව..ඉතින් මා දැන් ඉදිරිපත් කරන දෙයට නිසිපිලිතුරක් මට සපයන්න..මෙන්න මෙයයි කාරණය..නුඹලා හැකි ඉක්මනින් කරදිය වලල්ල වටේ රවුමක් ගොස් ඉක්මනින්ම එන්න ඇත්තටම මෙය තරගයක් වනු ඇත.මෙයින් දිනනා තැනැත්තාට ගිතෙල් එක්ක රසවත් ආහාරයක් මෑණියන් විසින් පිලියෙල කර දෙනු ඇත..ගණේෂ් ..මුරුගන් දැන් නුඹලාගේ වාරයයි“

කෙලි සෙල්ලමට බොහෝ කැමති මොවුන් දෙදෙනාට මෙය නැවුම් අත්දැකීමක් විය.

ඉතින් අපි කවුරුත් දන්නවනේ මුරුගන් හෙවත් කතරගම දෙවියන්ගේ වාහනය මොණරා කියලා.ගණ දෙවියන්ගේ වාහනය මීයා.

ඔන්න ඉතින් තාත්තාගේ වචනය කන වැකුනු විගස කතරගම දෙවියන් තමා වාහනය වූ මයුරා පිට නැග කරදිය වලල්ල වටා යන්න පිටත් වුනා.කතරගම දෙවියන් කරදිය වලල්ල කියා අදහසට නගා ගත්තේ මුහුද...ඒ කියන්නේ මහා සාගරය.

ඉතින් ඔන්න තම අයියා යන මග බලා සිටි ගණ දෙවියන්ට විශාල ප්‍රශ්නයක් සිතට නැගුනා..මොකද ඔහුගේ වාහනය මීයා නිසා.මීයා පිට නැග කෙසේ වත් මයුරා පරාජය කරන්නට නොහැකි බය නිතැතින්ම ගණ දෙවිදුන්ගේ සිහිවුනා
කලබල නොවී ටිකක් කල්පනා කලා.
“තාත්තා කිව්වේ කරදිය වලල්ල වටේ එක වටයක් යන්න කියලා නේ“ ඔහුගේ මුවගට සිනාරැල්ලක් නැගුනා.
ඔන්න ඉතින් ගණ දෙවියන්ට තම නුවණ පහල වුනා.

ඔහු වහාම දේව මුළුතැන්ගෙට දිව ගියා..දිව ගොස් තම වාහනය වූ මීයා පිට නැගී ලුණු පොල් කට්ට වටේ ඉතා ඉක්මනින් වටයක් ගමන් කරා...
මේ සිදුවීම් සියල්ලම ශිව දෙවියන් බලා ගෙන සිටියා.තම ආදරණීනය වැඩිමහල් පුතුගේ නුවණ දුටු ඔහුට මහත් සතුටක් සිත තුල පැන නැගුනා.

ඔන්න ඉතින් බොහෝ වේලාවකට පස්සේ ඉතා වෙහෙසින් යුක්තව කතරගම දෙවියන් උද්‍යානය වෙත ලගා වුනා..තම සහොදරයා එහි සිටින බව දුටු ඔහුගේ නෙත් පුදුමයට පත්වුනා.ශිව දෙවියන්ගෙන් ගණේෂ් කල හපන්කම ගැන අසා කතරගම දෙවිදුද ප්‍රීතියට පත්වුනා.
ගණ දෙවිදුන් තමන්ට ලැබුන ගිතෙල් බත්පත අයියන්ඩිලා දෙදෙනා එක්ක බෙදාගෙන කන්නත් අමතක කලේ නෑ.

ඉතින් බලන්න යාළුවනේ ගණ දෙවියන්ගේ නුවණ.අදත් මිනිස්සු නුවණට අධිපති දෙවිදු වශවෙන් සලකන්නේ ගණ දෙවියන්.අධ්‍යාපන කටයුතු වලදී ගණ දෙවි වන්දනාමාන වැඩිපුර කරන්නේ ඒ හේතුව නිසයි.

Friday, December 9, 2011

Delete කිරීමට අපහසු Files මකා ගැනීමට ක්‍රමයක්

Photoshop Fire Effect එකට පස්සේ ආයෙත් අළුත් ලිපියක් ලියන්න ඕන කියලා හිතුනා යාළුවනේ.ඉතින් මේක මට මගේ යාළුවෙක් තමා කියලා දුන්නේ.ඉතින් මම හිතුවා ඔයාල එක්කත් ඒක බෙදා ගන්න ඕන නිසා ලිපියක් විදියට ඒක සකස් කරන්න.ඉතින් කියවල බලලා කියන්නකෝ හොද නරක....

මෙන්න මේකයි කාරණය..ඔයාලා දන්නවනේ computer එකෙන් අපි file delete කරද්දී සමහර files තියෙනවා අපිට delete කරන්න අපහසු.ඒ කියන්නේ පරිගණකය අපිට ඒවා delete කරන්න ඉඩදෙන්නේ නෑ...විශේෂයෙන්ම adware,spyware වගේ වැඩසටහන්. සමහරවිට මේ files යම් මෘදුකාංගයක් විසින් භාවිතයට ගන්නවා වෙන්නට පුළුවන්.ඉතින් මෙන්න මේ වගේ වෙලාවට අපිට නිතරම මේ වාගේ පණිවිඩ දක්නට ලැබෙනවා...එහෙම නේද?..

"cannot delete file:access denied"
"There has been a shearing violation"
"The source or destination file may be in use"
"The file is in use by another program or user "



ඉතින් මෙවැනි files delete කරද්දී "Access denied" වාගේ පණිවිඩ නිතරම අපිට ලැබෙනවා..ඉතින් අද අපි බලමු කොහොමද එවැනි files delete කරගන්නේ කියලා.

මුලින්ම ඔයාලට delete කිරීමට අවශ්‍ය file එක සොයාගන්න.
ඊට පස්සේ ඒ file එක තියෙන file path එක සටහන් කරගන්න.
උදාහරණයක් විදියට ඔයාගේ C:\ කියන partition එකේ system32 folder එකේ තියෙන “computer.exe" කියන file එකේ path එක වෙන්නේ "C:\WINDOWS\System32\computer.exe" යන්නයි.

අමාරුවක් නෑ යාළුවනේ... හිමීට ඔයාලට delete කරන්න අවශ්‍ය සෑම file එකකම path මේ විදියට සටහන් කරගන්න.

හරි ඊලගට පරිගණකය restart කරන්න.
restart කර windows load වෙද්දී.(ඒ කියන්නේ windows xp හෝ windows 7 ,logo එක දිස්වන්නට ප්‍රථම) key board එකේ F8 key එක press කරගෙන මොහොතක් ඉන්න.

එහිදී ඔයාලට menu එකක් දැකගන්නට ලැබේවි.ඒ menu එකෙන් "safe mode with command prompt" යන්න click කරන්න.

මගේ යාළුවෝ හරියට කලානම් ඔයාලට කළු පැහැති තිරයක් එක්ක "command prompt" එක දැක ගන්නට පුළුවන්.
හරි දැන් ඔයාලා "Del" කියලා ඒකේ type කරන්න.type කරලා ඉවර වෙලා ඔයාලට delete කිරීමට අවශ්‍ය file එකේ file path එක type කරන්න.මෙන්න මේ විදියට...

Del C:\WINDOWS\System32\computer.exe

දැන් ENTER විධානය දෙන්න.මේ ආකාරයට "command prompt" හරහා අපිට delete කිරීමට අපහසු files,delete කර ගන්න පුළුවන්.

තවත් වැදගත් දෙයක් යාළුවනේ මම මෙහිදී උදාහරණයක් ලෙම windows හි system32 ,file path එක ගත්තට එවැනි windows ,files ඔයාලා කිසිවිටෙකත් delete කරන්න යන්න එපා.මොකද එහෙම වුනොත් windows වල file මැකී යාම හේතුවෙන් ඔයාලට නැවත WINDOWS ස්ථාපනය කරන්න සිදුවේවි.ඒ මම ගත්තේ උදාහරණයක් පමණයි..

Thursday, December 8, 2011

කසාවත


වෙල්එළි වල දුව පැන
සිහිල් සුලග ගත
දැවටී තිබුනා මට මතකයි...
බාල ලමා විය
කෙලි සෙල්ලම් මැද
ගෙවී ගියා අද මෙන් මතකයි...

දෙපා නැමද මා පිය සෙවණේ යට
සිටියා විසි වසරක් නිවසේ මම
හැගුනා පැහැදීමක් බුදු සසුනට
සිතුනා පැවදිව කල් ගත කරනට

කසාවතින් ගත පොරවා ගද්දී
අමතක විය මාගේ දුක් කදුලැලි
සියක් ආයු ලැබ මා බිහි කල පින
මගෙ මවුපිය දෙදෙනා පතාවි

මොහිණී යක්ෂණිය


ඔන්න කොල්ලනේ ටිකක් පරිස්සම් වෙයල්ලා.අද මම කියන්න යන්නේ මේ අපිට වින කරන යකින්නියක් ගැන.ඒ කියන්නේ අපි කවුරුත් දන්නා මෝහිණී ගැන.යකැදුරන්ගේ මතය නම් මේ යකින්න වැඩි පුරම වින කරන්නේ පිරිමි උදවියටලු..ඒකෙත් හැටි.ඔන්න ඉතින් ලස්සන ගෑනුන්ට පැණි පෙරන වුන් පොඩ්ඩක් ප්‍රවේසම් වෙයල්ලා..හරි මෙන්න මෙහෙමයි මෝහිණී ගැන සදහන් වෙන්නේ.


උදේ 6,හැන්දෑවේ 6, දවල් 12,රාත්‍රී 12 මෝහිණීයට කැපවූ වේලාවන් ලෙස දැක්වෙනවා.විශේෂයෙන්ම ඇය මේ වෙලාවන් වලදී තමයි වැඩිපුරම ගමන් කරනවා කියන්නේ.එසේ ගමන් කරන්නේ බිලිපුද ලැබ ගැනීමට.ඉතින් අපි කවුරුත් දන්නා විදියට මෝහිණී වැඩිපුරම ගමන් කරන්නේ රාත්‍රී කාලයේදී.

මෝහිණීය ඉතා අලංකාර රූ සපුවකින් හෙබි තැනැත්තියකි.ඇය දුටුවිට සිත ඇය කෙරේ බැදෙනුයේ නිරායාසයෙනි.රාත්‍රී දොලහ සමයමේදී කොණ්ඩය විහිදුවාගෙන සුදු පැහැති සාරියක් ගත වෙලාගෙන ළමයෙකුද වඩාගෙන පැමිණෙන මෝහිණීය පිරිමියෙකු දුටු විට ඔහු අසලට ගොස් තම ඇදි රෙද්ද ලිහිල් වී ඇති බවත් එය නැවත ඇද ගැනීම සදහා ළමයා ටිකකට වඩා ගන්නා ලෙසත් පවසයි.


ඇයට මුලා වී එකවරම දරුවා අතට ගතහොත් එම පුද්ගලයා මෝහිණීයගේ පහරදීම නිසා මරණයට පත්වන බය පැවසේ.යකැදුරන් පවසන පරිදි දරුවා අතට ගත් සැනින් ඇයගේ දෙනෙත් රත් පැහැ වේ.රාත්‍රීයට සොහොන් පිට්ටනි අසල,පාළු මං මාවත් වල,දෙමංසල්,තුංමංසල් වල මැය බොහෝවිට දක්නට ලැබේ...

ඔන්න කොල්ලනේ පරිස්සමෙන්..
ළමයා ගන්නවද...?
එහෙමත් නැත්නම් රෙද්ද අන්දනවද....?
තීරණය ඔයාලා අතේ..

Wednesday, December 7, 2011

අළුත් යෙහෙළිය....


නොලැබෙනා මිරිගුවක් පසුපස දිව
බිදුනු හදවතින් කල් ගත කරන කල
වැලි කතරක හුදෙකලා වූ මිනිසෙකුට
දිය පොදක් සේ......
මගේ ජීවිතයට විත්....
කීරි ගැහෙනා මගේ හදවතේ
ලැගුම් ගත් ඔබ හට
කුමන තැනක ඉඩක් ලබා දෙම්දෝ මම තවමත් සිතමි

කිසිදිනෙක ඇයගෙන් එහා ලෝකයකට
මගේ හිත ඉගිල ගියේ නැත
නමුත් කිමෙක්ද මේ අරුම
මා හා ඇය අතරට පැමිණෙන්නට තරම්
ඔබ මා හට ලංවූයේ කෙසේද..?

සිතන පරිදි එය මා හැගි අයුරින්
ඇය මා හට දෙන මේ දුක් ගින්දර නිසාමදෝ
මාගේ සිතට අස්වැසිල්ල වූයේ ඔබය
ඇය කිසිදිනෙක අමතක කල නොහැක
ඇය මා තේරුම් ගන්නේ කවදාද..??
එම දිනය තෙක් වත් මාගේ අලුත් යෙහෙලිය විලස
මා සිත් පාමුලට වී හිදින්න..
මන්ද යෙහෙලියක නැති අඩුව
අද මට හොදාකාරවම දැනෙන බැවිනි.......

Photoshop භාවිතයෙන් අකුරු වලට Fire Effect එකක්.......

ඔන්න යාළුවනේ ටික දවසකට පස්සේ ආයෙත් post එකක් ලිවුවා.හැමදාම යක්කු ගැනයි,ආදරය ගැනයි ලිව්ව නිසා හිතුනා වෙනසකටත් එක්ක පරිගණක තාක්ෂණය ගැන ලිපියක් ලියන්න..ඉතින් graphic කරන අයට මේක වැදගත් වෙයි කියලා හිතනවා..මොකද මේක තමන්ට රිසි සේ නිර්මාණාත්මකව යොදන්න පුලුවන් Photoshop Effect එකක් නිසා..කට්ටියම කරලා බලන්නකෝ එහෙනම්..හොද නරක කියන්නත් අමතක කරන්න එපා යාළුවනේ...

මෙන්න මේකයි සෙල්ලම "Photoshop Fire Effect "

ඉතින් මුලින්ම Photoshop තුලට ඇතුල් වෙලා
File --> New --> Gray scale
colour mode එක යටතේ නව පිටුවක් විවෘත කරගන්න

ඊට පස්සේ...canvas එක "black" colour එකින් fill කරගන්න
Edit --> Fill --> Black

tool pallet එකේ තියෙන Horizontal type mask tool භාවිතා කර අවශ්‍ය අකුරු පෙල type කරගන්න.
text selection එක සදහා සුදු (white) වර්ණය ඇතුලත් කර ගන්න
Edit --> Fill --> White


හරි නේද?..යාළුවනේ...
ඔන්න එහෙනම් ඊලගට අපි ඔය අකුරු වටා නලියන කඩඉර save කරගන්න ඕන..බලා ගන්නකෝ ඒකත්,
Select --> Save selection යන විධානය පාවිච්චි කරන්න


ඉතින් ඔන්න ඊලගට canvas එක 900cw rotate කරගන්න..
ඒකට මේ විධානය පාවිච්චි කරන්න
Image --> Rotate canvas --> 900cw

ඔන්න යාළුවනේ අපි දැන් Photoshop වල වැදගත් දෙයක් ඉගෙන ගන්නයි හදන්නේ.Photoshop වල තියෙනවා ගොඩාක් filters
ඒත් අපි ඒවා වැඩිය පාවිච්චි කරන්නේ නෑ..ඉතින් අපි දැන් බලමු අපේ මේ නිර්මාණයට කොහොමද ඒ filters යොදාගන්නේ කියලා.හරි එහෙනම් පටන් ගමු..

මුලින්ම අපි අපේ canvas එකට wind කියන filter එක යොදමු.ඒ සදහා...
Filter --> Stylize --> Wind අවස්ථාව තෝරා ගන්න
එහි
Method = Wind
Direction =From the left

ආකාරයට සකසන්න..හරි නේද යාළුවනේ.

ආ දැන් ඕකේ නේද....ඔන්න මම තවත් වැදගත් වෙයි කියලා හිතන දෙයක් කියලා දෙන්න මේ හදන්නේ.ඔයාලා දන්නවද ? Photoshop වල පහසුකමක් දීලා තියෙනවා අපි අවසන් වරට apply කල filter එක නැවත නැවත apply කිරීමට අවශ්‍ය නම් පොඩ් shortcut key එකක්.ඒක තමයි Ctrl + F යන විධානය

ඉතින් ඔයාලට කලින් යෙදුව wind filter එක ප්‍රමාණවත් නැත්නම් (Ctrl + F) press කර එය වඩ වඩා තීව්ර කරගන්න.
හරි එහෙනම් ඊලගට canvas එක 900ccw rotate කරගන්න
Image --> Rotate canvas -->900

ඉන්පසු image එක සදහා diffuse filter එක ලබා දෙන්න
Filter --> Stylize --> Diffuse
එහි Mode = Anisotropicකරගන්න

හම් දැන් වෙනසක් පේනවා නේද..? ඔයාලට
හරි ඉතින් ඊලගට Image එක සදහා Ripple filter එක හදුන්වාදෙන්න
Filter --> Distort --> Ripple
එයද තමන්නට ඇති පමණ යොදාගන්න

දැන් save කරගත් text selection එක load කරගන්න
Select --> Load selection
ඉන්පසු text selection එක සදහා feather එකක් ලබා දෙන්න.මෙහි feather එකක් දීමෙන් කරනුයේ අකුරු වල කඩතොළු ගතිය මගහරවා ගැනීමයි..හොදට මතක තියාගන්න යාළුවනේ මේ feather option එක ඉස්සරහට ඔයාලට ගොඩාක් වැදගත් වෙයි.
Select --> Feather

text selection එකට කළු වර්ණය ඇතුලත් කරගන්න
Edit --> Fill --> Black

ඊලගට ඔයාලා image එකේ colour mode එක Index colour කරගන්න.මෙන්න මෙහෙමයි ඒක කරන්නේ හරිම ලේසියි යාළුවනේ..Image --> Mode --> Index Colour

හරි එහෙනම් ඊලගට නැවත,color table අවස්ථාව තෝරන්න
Image --> Mode --> Color Table
මෙහි clor table හි black body යන අවස්ථාව තෝරාදෙන්න...
හරි යාළුයනේ එතකොට ඔයාලට ඔයාලා බලාපොරොත්තු වූ ආකාරයේ image එකක් දැක ගන්නට ලැබේවි..දැන් අපි ගින්දර වගේ නේද.....??selection එක select menu එකට ගිහින් deselect කරගන්නත් අමතක කරන්න එපා..


ඔයාල යොදන filters වල අඩු වැඩි කිරීම් අනුවත්,යොදාගන්නා font එක අනුවත් මේ colour balance වෙනස් වෙනවා...මේ පහලින් දාලා තියෙන්නේ එහෙම වෙනස් මම නිර්මාණය කරපු fire image 3ක්.ඉතින් කරලම බලලා හොද නරක කියන්නකෝ.....ඔයාලා පොඩි දෙයක් හරි ඉගෙනගත්තානම් ඒක වැහි පොදට සතුටක්..