Sunday, June 24, 2012

පොරපොල් ගහනවා කියන්නේ මෙන්න මේකයි......




පොර පොල් ගැසීම.....අහලා ඇතිනේ ඔයාලා ඒ ගැන..ඒත් යාළුවනේ මේ කාලේ නම් හරි අඩුයි ඔය ක්‍රීඩාව දැක ගන්න.කොහොම කොහොම හරි දැකලා තියෙනවනම් ඔය සෙල්ලම, මේවා ගැනත් දන්නවද බලන්න..දන්නේ නැත්නම් ඒත් බලන්න....

පොර පොල් ගැසීම යන ජන ක්‍රීඩාවේ  මූලික් උපත්ති ප්‍රභවය වන්නේ ගම්මඩු කියන ශාන්තිකර්මය...ගම්මඩු ශාන්තිකර්මය ගැන ඉදිරියට සවිස්තර ලිපියක් දාන්නම් යාළු.දැනට මෙහෙම මතක තියා ගන්නකෝ..ගම්මඩු ශාන්තිකර්මය කියන්නේ පහතරට නර්තන සම්ප්‍රදායේ දෙවියන් ඇදහීම මුල් කොටගෙන පවත්වනු ලබන ප්‍රධානතම ශාන්තිකර්මය...

හරි ඉතින් ඔය ශාන්තිකර්මයේදී ජන ක්‍රීඩා බොහෝමයක් ඒකට සම්බන්ධ වෙනවා .ඒ අතර පොරපොල් ගැසීම/අංකෙලිය මූලික තැනක් ගන්නවා.ශාන්තිකර්මයට කප් සිටුවා මූලික වතාවත් සිදුකර දින නියම කරගත් පසුව මෙම ක්‍රීඩා පවත්වනු ලබනවා.මේවා පත්තිනි මෑනියන් වෙනුවෙන් කරන පුද පූජා ගොන්නට වැටෙනවා.අනික් යාළු මේවා ක්‍රීඩා වුනත් මෙහි මූලික ලක්ෂණය විනෝදයම වඩා පූජා වත්පිලිවෙත් වලට මුල් තැන දීමයි...

හරි අපි දැන් බලමු මොකක්ද මේ පොරපොල් ගැසීම ගැන

පොරපොල් ගැසීම කිව්වම තේරනවනේ මේක මේ පොල් යොදාගෙන කරන වැඩක් කියලා...ඉතින් මේ සදහා ගන්නා පොල් යහනේ තියලා සුවද දුම් අල්ලලා පත්තිනි දේවිය වෙනුවෙන් කන්නලව් කරලා අවසර ලබා ගත යුතු වෙනවා.ඉතින් මේ පොල් පොරපොල් පිටියට ගේන්නේ කහ දියරෙන් සෝදලා හොදට පිරිසිදු කරගෙන.(අද නම් ඉතින් එහෙමද දන්නේ නෑ).මේ විදියට පොල් දෙවියන් වෙනුවෙන් පේ කිරීම  විශේෂ කටයුත්තක් වන අතර ඒ කාර්යයට ගම්මඩු ශාන්තිකර්මයේම  ඉන්නා කපුපත්තිනි වරුන් සහභාගි වෙනවා.හැබැයි විශේෂත්වය වන්නේ ඔවුන් පොරපොල් ගැසීමට සහභාගී වෙන්නේ නෑ.

ඔයාලා දන්නවද? මේ ක්‍රීඩාව වෙනුවෙන්ම  රටේ සෑම තැනින්ම ශිල්පීන් ගෙන්වා ගෙන ගම් මට්ටමේ ඉන්න අය හා මිශ්‍රව ක්‍රීඩාවට යොදවනවා.මොකද ඒ තරමට මේ සදහා උනන්දුයි.ගොඩාක් දුරට මාතර ප්‍රදේශයෙන් තමයි මේ අය ගෙන්වා ගන්නේ..ඇයි තව කටුව හයිය පොල් ඒවත් ගෙන්නේ මාතරින් මලු.මේ කටුව හයිය පොල් කල් තබා සූදානම් කර ගන්නවා කියලයි කිය වෙන්නේ.තවද මේ ආකාරයට මේ ශාන්තිකර්මයට හොද පොල් ගන්නා විශේෂිත පොල් ගස් පවා ඇති අතර දුර බැහැරින් පවා ඒවා ගෙන්වා ගන්න වලු.කෝමද තියෙන උනන්දුව...

දැන් බලමු මේ ක්‍රීඩාවේ යෙදෙන අයුරු....

මෙහීදී උඩුපිල හා යටිපිල ලෙස ගමේ ඉන්නවුන් දෙකකට බෙදෙනවා.තවත් දෙයක් ක්‍රීඩා නොකරන අය පොල් ලබා දීමෙන් හෝ සහභාගී වී ක්‍රීඩකයන් දිරිමත් කිරීමෙන් මේ අවස්ථාවට සහභාගී වෙනවා.පොරපොල් ගැසීම ආරම්භයේදී උඩුපිල හා යටිපිලට සමාන පොල් සංඛ්‍යාවක්  තියෙනවා.තරමක් ඈත්වී දෙපිලම දෙපේලියකට සිටින අතර එක් පිලක අය තම අත රැදි පොල් ගෙඩිය ගුවනේ පා කර එවනවා.එහිදී අනික් පිලේ ක්‍රීඩකයා තම අත රැදි පොල් ගෙඩියේ මූණතින් එම එන පොල් ගෙඩියට ගසා බිද දැමිය යුතුයි..පොල් ගෙඩිය බිදුනු පිල පරාජයට පත් වෙනවා.එවිට අනෙක් පිල වෙත් තමන්ගේ පිලෙන් පොල් ගෙඩියක් ලබා දෙන්නටත් ඔවුන්ට සිදු වෙනවා. 

එතකොට දෙකම එක සැරේ බිදුනොත්......කොහොමද වැඩේ ආ...එහෙම වුනොත් යාළුවනේ අයේ මුල් පිලෙන්ම පොල් ගෙඩියක් එවනවා ඒ කියන්නේ කලින් වටය අමතක කරලා ආයේ අළුතෙන් පටන් ගන්නවා වගේ  වැඩක්.

මේ බලන්න යාළු මෙහෙම ගුවනේ පා කරලා එවන පොලය උඩ පොලය වශයෙන්ද..අතේ රදවා ගන්නා පොලය අත් පොලය ලෙසද සලකනවා.ගොඩාක් වෙලාවට උඩු පොලය තමයි බිදීමට ලක් වන්නේ .ඒත් හරියම පහර දීමට බැරි වුනොත් යටි පොලයත් බිදෙන අවස්ථා එමටයි.ඔයාලා දන්නවද? සමහර ක්‍රීඩකයින් ගුවනේ එන පොලයට එල්ලය මානා අත් පොලය විසි කර පවා උඩුපොලය බිදීමට සමත්කම් දක්වනවා.පාරම්පරික අත්දැකීම් තමයි එව්වා..


දෙපිලෙන් එක පැත්තක පොල් බිදී අවසන් වුනාම තරගය නිමා වෙනවා.මේ ක්‍රීඩාව දින තුනක් පැවැත්වෙන අතර උඩුපිල හා යටිපිල කන්ඩායම් දෙකෙන් යටිපිල දිනීම සුභ ලක්ෂණයක් ලෙස ගම්මුන් සලකනවා.
ඉතින් මේ ආකාරයට දැඩි ආගමික භක්තියෙන් කරන නිසා මේ ක්‍රීඩාව දෙවියන් වෙනුවෙන්ම කරන ක්‍රීඩාවක් වෙලා.ඇයි පොර පොල් ගැසීමෙන් පසුව ගමවටා පෙරහැරින් ගොස් ගමටත් සියළුම ගම් වාසීන්ටත් සෙත් පැතීමක් සිදු කරනවා...

ඕං එහෙනම් පොර පොලුත් ගැහුවා නේ.....කාලෙක ඉදලා ලියන්න ඉදපු එකක් වෙලාව ආවේ දැන් යාළු.කොහොම වුනත් ස්තූති කරන්න ඕන ඥානසිරි පීරිස් කියන ඇදුරානන්ට මේ කරුනු ගොඩාක් මමත් දැන ගත්තේ එතුමන්ගේ ශාන්තිකර්ම සහ අභිචාර විධි කියන ග්‍රන්ථයෙන්.ඉතින් ආයෙමත් ඉක්මනින් හම්බවෙමු ජය වේවා!!

16 comments:

  1. අපේ හැංගිච්ච සංස්කෘතික අංග මේ විදියටවත් එලියත එන එක හොඳයි...

    අහල තියන විදියටනම් පන්තිනි දෙවියන් උදෙසා කරන ක්‍රීඩාවක් අං ඇදීමත් මේවගේ... ඒකෙත් යටිපිළ තමයි දිනන්නේ... යටිපිළට දෙවියන්ගේ ආශීර්වාදය තියෙනවා කියල විශ්වාසයක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ!! යටිපිලේ අදහසට නම් මමත් එකගයි!! ජය වේවා

      Delete
  2. අපේ සංස්කෘතියේ එක වැදගත් ලක්ශනයක් මේක.. කාලයත් එක්ක වැලලියා යන එක ගැන තමයි ටිකක් දුක..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ!!මොනා කරන්නද සහෝ අපේම අයගේ වැරදි තමා ඒකට බලපාන්නේ..අපි අපේ දේ ගැන සතුටු වෙන්න ඕන!
      ජය වේවා

      Delete
  3. පොර පොල් ක්‍රීඩාව ගැන අහලා තිබුනට සමහර විස්තර අහලා තිවුන් නෑ. ගොඩක් වටින පෝස්ට් එකක් !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ!!දෙයක් දැන ගත්තනම් සතුටුයි ජය වේවා

      Delete
  4. ඔය ක්‍රීඩා දෙකේම යටි පිළේ ජයග්‍රහණය හොඳයි කියලා නේද කියන්නේ ? මට මතක විදිහට යටි පිළ නියෝජනය කරන්නේ පත්තිනි අම්මාව

    ReplyDelete
    Replies
    1. ඔව් පත්තිනි අම්මා තමයි...එහෙම වෙන්න ඇති මොකද යටි පිලේ ජය තමයි බලාපොරොත්තු වෙනනෙත් ස්තූතියි සහෝ!!! ජය වේවා

      Delete
  5. ඒ වගේ ම වර්ෂාව බලාපොරොත්තුවෙන් මේ ක්‍රීඩා දෙකේ යෙදෙනවා කියලත් මම අහලා තියෙනවා. යටි පිල දින්නොත් බොහොම සාරවත් අස්වැන්නක් ලබන්න පුළුවන් වෙනවා කියලා සලකනවා. නමුත් උඩු පිල දින්නොත් ගමට ශාපයක් වන බව අහලා තියෙනවා.

    අපේ දෙයක් ගැන ලියන්න පෙළඹීම සැහෙන්න වටිනවා.. බෙහෙවින් ම අගය කරනවා!
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ!! යටිපිලේ අදහසට නම් මමත් එකගයි!! ජය වේවා

      Delete
  6. බොහොම වැදගත් ලිපියක් ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ!! ජය වේවා

      Delete
  7. පොරපොල් ගහනව අහල තිබුණට හොදට විස්තර දැනගත්තෙ මේ ලිපියෙන් මල්ලියෙ...
    ගොඩක් ස්තුතියි මගෙ මල්ලිට...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කේ! දෙයක් දැන ගත්තනම් මටත් සතුටුයි.. ජය වේවා

      Delete
  8. මේකට පාවිච්චි කරන පොල් සාමාන්‍ය පොල් වලට වඩා වෙනස් කියලා මම කොහෙදි හරි කියවලා තියෙනවා.තරමක් දිගැටි හැඩයක් තියෙනවා කියලත් අහලා තියෙනවා කියලා මතකයි හැබැයි මතකය කොයි තරම් නිවැරදිද කියලනම් කියන්න දන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මමත් දැකලා තියෙනවා මචං...එහෙම වෙන්න ඇති ස්තූතියි සහෝ!!! ජය වේවා

      Delete

මතක සටහනක් අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා........