Wednesday, October 19, 2011

හීනයක් වී හෙටත් එයි නම්.....

පියා නෙතු හිත හොවා ලැම මත
ගෙවූ කල් සිහි කරන්නම්
කියා ගන්නට වදන් අහිමිව
හිතින් ඉකිබිද හඩන්නම්
ලියා කදුලක වියෝ ගීතය
ඉතින් පා කර හරින්නම්............

හීන නොදකින රැයේ තුන්යම
ඔබව සිහිකර තැවෙන්නම්
පේන මානෙක නැතත් ඔබෙ රුව
ළගම වේ යැයි සිතන්නම්
පාන සුන්දර සිනා කුමටද
සුසුම් මැද දිවි ගෙවන්නම්
හීනයක් වී හෙටත් එයි නම්
ආදරෙයි මම කියන්නම්.....

හිනාමල් පෙති දරා දෝතට
ඔබේ සියොලග වෙලෙන්නම්
ඒ හිනා මල් ඉන්දලා නුඹෙ
නෙතේ අද්දර පිපෙන්නම්
සිතේ ඔබ සිතුවමකි අද මට
නොමැකෙනා පාටින් කෙරූ මං
වඩී නම් ඔබ මගේ ලෝකෙට
සදා නිරතුරු රකින්නම්.........

Sunday, October 16, 2011

වෙන් වුනත් සතුටින් නම් ඔබ........


ඔබ වෙන් වෙන්නට වුනා
දුක් සුසුම් බොහෝ දැනුනා
මොකද......
හදවතේ ඇත්තේ දෙපැත්තක් නිසා
දෙපැත්තම අද කදුලින් බර වෙලා......

අද මම හිනා වෙනවා
ඔයා මම ලග නැති නිසා
මොකද......
මා නොමැති ලෝකයේ
ඔයා අද සිනාවෙන් සිටින නිසා........

මම බලන් සතුටු වුනා
ඔයා හිනාවෙන නිසා
මා නෙතට කදුලු බර වුනා
මොකද......
තාමත් ඔයාට ආදරේ නිසා......

නෑ නෑ ආයේ එන්නේ නෑ
කවදාවත්ම එන්නේ නෑ
මොකද......
මගේ ලෝකේ දුකක් යැයි
ඔබ සිතන නිසා............

සතුටු කදුලු නෙතින් ගිලිහුනා
ඒ අතරින් දුකද පිටවුනා
මොකද......
ඔයා එයත් එක්ක ජීවිතේ
සතුටින් ගතකරන නිසා.....
ඔයාගේ සතුට මගෙත් සතුට වන නිසා.......

Saturday, October 15, 2011

මහසොහොන් යක්ෂයා

යාළුවනේ රෑ දෙගොඩයාමේ ලියන්න කියලා මේ ලෑස්ති වෙන්නේ...යක්කු ගස් නගින වෙලේ මම ලියන්නම් යක්කු ගැනම.ඔයාලා ඕන තරම් මෙයා ගැන අහලා ඇති.මොකද යැකැදුරන් කියන ආකාරයට ලංකාවේ ජීවත්වන යක්ෂයින්ගෙන් බලවත්ම කෙනා මෙයා.ඒකනේ අපි නිතරම මෙයා දැකලා බය වුන අයට බලි තොවිල් දෙන්නේ..කොහොම වුනත් “මහසෝනා“ ගැන ඔයාලා නොදන්න කරුණු ටිකකුත් අරන්,මම කියවපු පොත් වල කරුනුත් අරන් ලිව්වා ලස්සන කථාවක් කියවලා බලමුද එහෙනම්........

යකුන් අතර මහසොහොන් යක්ෂයා බලවත්ම යකෙකු ලෙස හදුන්වයනවා.මොහුගේ පියා “මහා කාලසේනය“.මව “ගොන්ඩා“ නැමැත්තියයි.මහසොහොන් යක්ෂයා දුටුගැමුණු රජතුමාගේ කාලයේ ප්‍රබලම යක්ෂයෙක්.එළාර යුද්ධයේදී මොහු දුටුගැමුණුට උදව් කර ඇත.ඒ කාලයේ ඔහුගේ නම “ජයසේන“ .



දවසක් මොහු තම්මැන්නා සොහොනේ පැවති යකෙකුගේ රැස්වීමකට යමින් සිටියේය.මේ කාලයේ දුටුගැමුණු රජු යුද්ධය දිනා රට සංවර්ධනය කරන කාලය විය.දස මහා යෝධයෙකු වූ ගෝඨයිම්බරද ජයග්‍රහණයේ සතුට සමරන්නට උත්සවයක් පවත්වමින් සිටියේය.ඔහුගේ තුන්මහල් ප්‍රසාදයේ තෙවන මහලේ සදළුතලයේ මෙය පැවැත්විනි.එය සදහා විවිධ බීම,මස් වර්ග ගෙනවිත් තිබී ඇත.උඩින් තම්මැන්නාව වෙත යමින් සිටි ජයසේන යකු මෙය දිටීය.මස් සුවද දැනී ලොල් වූ පෙරේත සිත් ඇතිව ජයසේන යකු වහා එතනට බැස්සේය.ජයසේන යකුට මේ අවස්ථාවේ දක්නට ලැබුණේ කිසි දිනෙක නොදුටු දර්ශනයකි.ගෝඨයිම්බර තම සූරූපි බිරිද සමග නර්තනයේ යෙදෙන අයුරුයි.ජයසේන යකු එයට වශී විය.සැනෙකින් ඇය දෙස නෙත් යොමා සිටි ඔහු ඇයට ආවේශ විය.ඇය සිහිසුන්ව බිම ඇද වැටුනාය.ඇසි විරූපි විය.කටින් සෙමද නාසයෙන් සොටුද ගලා ආවේය.ඇය දෙස බලා සිටි ගෝඨයිම්බරට මෙය අමුනුෂ්‍ය බැල්මක් යැයි වැටහිනි.ඔහුට දැඩි කෝපයක් ඇති විය.ගෝඨයිම්බර තරහෙන් පුපුරන්නට විය.

“ශ්‍රී කාන්තාව වන් මාගේ ස්ත්‍රියට කුමන යකෙක් බැල්ම හෙලා සිටීද? කාන්තාවකට වසන යකු නිවටයෙකි බොල!එවන් එකෙක් සිටී නම් වහා ඉදිරියට එව!මම ඔහු අල්ලා දෙපලු කරමි.....“ ගෝඨයිම්බර කෑ ගෑවේය.

තමා ඉදිරියේ බැන වදින ගෝඨයිම්බර දුටු ජයසේන යකු කෝපාවිෂ්ඨ විය.ඔහු දෙස රවා බැලීය.

“තෝ ගුගුරන්නේ කා ඉදිරියේද බොල නරය! මම ජයසෙන යකු වෙමි,තොප අල්ලා පරසක්වල ගලෙන් එපිටට විසි කරමි“ යකු ගෑ ගැසීය.

යකුගේ කඵ දේහයේ ඇස්වලල්ල ඉතා භයංකාරය,ගිනි බෝල වන් ඇස් නෙරා ගොස්ය.දළ ඉදිරියට නෙරා වුත්ය,කෙස් රොද කෙලින් සිටුවන ලද බට ගස් වැන්න.බලන විට ඇතිවූයේ බියක්මය.

“එම්බා කොල්ල තොට මා හා යුද්ධ කළ හැකිද?“
කියමින් වියරු හිනාවක් දැම්මේ එයින්ම ගෝඨයිම්බර බය කර ගැනීමටය.

“එම්බා යක්ෂය තා කුමක් කියන්නෙහිද? බොල,මෝඩ කැණහිල,කේශර සිංහයින් පරදවා බෝ ජයගන්නේ කෙසේද?...“ගෝඨයිම්බරද නොදෙවිනි වූහ.

මේ ආකාරයට දෙදෙනා අතර මහා සංවාදයක් ඇති විය.එහෙත් ජයසේන යකුද පසු බැස්සේ නැත.ඔහු නැවත මෙසේ කීය..

“නරය! කටට ආ පලියට නන් නොදොඩව,මට ජයසේන කියන්නේ සෑම තැනම ජයගත් නිසාය.තොප වගේ හා පැටියෙක්ට මා හා සටන් කල හැකිද?“

ගෝඨයිම්බරට දැඩි කෝපයක් ඇති විය.

“එම්බල යක්ෂය මා කුඩා බව ඇත්තය,ඒත් තාගේ ඔය විශාල ශරීරය සිදුරු කරන්නට මා වැය කරන්නේ ඇගිලි දෙකක් පමණි.කෑ නොගොසා වර මා හා සටනට!“ අසීමිත වූ කෝපයෙන් යුතුව ගෝඨයිම්බර තෙපලීය...

මෙයින් යකු තවත් කෝපාවිෂ්ඨ විය.
“එම්බා ගෝඨයිම්බරය ,මෙහි මා යුද්ධ කරන්නේ කාට බලන්නද? අදින් සත්වන දිනයේ තම්මැන්නා සොහොනට එව!“

යකුට බිය නොවූ ගෝඨයිම්බර තෙමේ ඇරයුම ඒ ලෙසින්ම පිලි ගත්තේය.

දිනය උදා විය...................
යක්ෂ ගෝත්‍රිකයන් මැද සටන ඇරඹීය.පලමුව පහරදීමේ වාරය ජයසේනට හිමි විය.ඔහුට ලැබුනු වාරයෙන් ඔහු උපරිම ප්‍රයෝජන ගත්තේය.සුළු වේදනාවක් ගෝඨයිම්බරට දැනෙන්නට විය.ගෝඨයිම්බර බිම සිට ජයසේනගේ මූණ දෙස බැලීය.තරමක් පස්සෙන් පස්සට ගියේය.උඩ පැන්නේය,ඔහුගේ වම්පස පයෙහි සුළැගිල්ල යකුගේ හක්කට එල්ල විය.යකුගේ හිස ගැලවී බොහෝ ඈතට විසි විය.එය ජනප්‍රවාදයේ එන පරිදි රිටිගල නම් ගමේ කරඹ ගසක රැදී ඇත.(අද එම ස්ථානය ඔළුකරදන නම් වේ)ජයසේනගේ හිස නැති කද වෙවුලන්නට විය.තරගය බැලීමට ජයසේනගේ මිතුරු සෙනසුරුද පැමිණ සිටියේය.ගැලවී ගිය හිස සෙවීමට ඔහු උත්සාහ ගත්තේය.නමුත් එය අසාර්ථක විය.ඈතිනි වලසෙකු ගමන් කරනවා සෙනසුරු දුටුවේය.කලබල විම නිසා කල් යල් බලා මනාව වැඩකරන සිරිතද අමතකව ගොස් වහා දිවගිය සෙනසුරු එම වලසාගේ හිස කඩා ගෙනවිත් ජයසේනගේ කදට සවි කලේය.ඉර උදාවන්නාට කලින් කලබලේ මෙය වූ බැවින් සෙනසුරුට කුඩා වැරදීමක් විය.එනම් ඔහු වලස් හිස සවි කර ඇත්තේ මුහුණ පිටුපසට සිටින ලෙසය.එනම් අනෙක් අතටය.හිස පසුපසට සවි කර ඇති බව ජයසේනට පෙනුනේ ඔහු නැගී සිටි අවස්ථාවේදීය.මෙම කාරණාව නිසා ඔහු ගමන් ගත්තේ පසු පසටය.එදා සිට නැවත පන ලැබු ජයසේන රියන් 81 ක් උස ඇස් 03 හා අත් 04 ඇති රතු ඇදුමින් ද කළු පාට ශරිරයෙන් යුතුව යෝධ ඌර වාහනයකින් ගමන් කරන මහසෝන් යක්ෂයා බවට පත්විය. මොහුට අවතාර 05 ක් ඇති බවද සදහන් වේ.

එළුවකු වාහනයක් කරගත් "ලේ සොහෝන් යක්ෂයා"
මුවකු වාහනයක් කරගත් "අමු සොහොන් යක්ෂයා"
අශ්වයා වාහනය කරගත් "ජය සොහොන් යක්ෂයා"
බැටළු වාහනය සහිත "මරු සොහොන් යක්ෂයා"
අලියකු පිට යන "ගොළු සොහොන් යක්ෂයා"

මේ මහසෝන් යක්ෂයාගේ පංච අවතාර වේ.
වෙසමුණි රජු මහ සොහෝන් යක්ෂයාට මිනිස් හා කුකුළු බිලිපුද ලබා ගැනීමට අවසර දී ඇත.සුසාන භූමි කදු මුදුන් හා ගිරිහෙල් වාසස්ථාන කර ගත් මහ සොහොන් යක්ෂයා ගෝඨයිම්බර දැහැනට පමණක් අවනත වන බව යැකදුරන්ගේ විශ්වාසයයි.

මහසෝන් උප්පත්තිය පිලිබදව යැකැදුරන් මෙසේ පවසයි....

“සෙනසුරු දළ කුමරු
දූ කෙළියෙ යන දවස
දැකපු මළකද නෙතට
තිදෙන යාළු බැවින්
ගොසින් බැස හිම මැදට
ඉසක් සොයනා ඔහුට
දැකපි වලසෙක් නෙතට
කපා ඇලි වලස් හිස
පිහිටුවා යක් කදට
පණ දෙවා සිත් සතුට“

හොද,නරක අඩු පාඩු කියලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා.ඉස්සරහට ලියන ඒවට ඔයාලගෙ අදහස් තමා වටින්නේ..........

Friday, October 14, 2011

ඔබ මගේ නම්......


ආ දා නුඹෙ සද මඩලට
ඔය නෙතුකැන් දැකගන්නට
දෙනවද සිය දහස් වරක්
සද කැන් නළලේ තියන්න.....

සද සාවිගෙ නෙත් අතරට
හාදු වැස්ස වස්සන්නට
කදුළු ගං තෙරින් මෙපිටට
එන්නට පාරක් නැත මට

මුතුවන් නුඹෙ දසුන් මැදින්
සිනා කැකුළු පොදි බැදගෙන
ගං ඉවුරට වෙලා ඉන්න
මම එනවා හනික දැන්ම...

එපා නෙතින් කදුළු දෙන්න
මට බැහැ එය බලන් ඉන්න
හබල අහිමි තොටියා මුත්
එමි ගංතෙර පසුකරමින....

මුව හසරැලි සරසාගෙන
අදුන් නෙතේ කැල්මෙන් නුඹ
මා එන ගංතෙර අසබඩ
හිදින්නෙ රණ මොණරි විලස....

ආවා මගෙ සදවතියේ
නුඹේ ලගට වෙලා ඉන්න
හිතේ කාන්සිය නිවන්න
ඇවිත් මගේ ලගින් ඉන්න......

අදුරු වලා පට මැද්දෙන්
සද කැල්මක් ගියා වගේ
විඩා මගේ දෙනෙත් තුලින්
නුඹේ දසුන් මැවී පෙනේ....

පෙම් කවිවැල් මුමුණන්නම්
මගෙ තුරුලේ සතපන්නම්
දෑස දිහා බලාන ඉද
නුඹෙ නළලත සිපගන්නම්.....

දරදඩු මගෙ උර පත්තට
සුසිනිදු ඔබෙ හිස තියන
නුඹෙ ගෙල වට අත යොමාන
තුරුලට ගන්නම්......

සදාක කාලිකව නුඹ ලග
රැදී සිටින්නම් සදවත
පෙමින් බැදෙන්නම් සියොලග
ඔබේම වෙන්නම්.....

දිවි ගගුලේ දුකද සතුට
එකසේ විද දරා ගන්න
ආදරයට අරුත් දෙන්න
පුළුවන් අප දෙදෙනා හට.......

යනෙනා මේ ගමන් මගේ
සැමදා නුඹ ලග ඉන්නේ
කෙලවර වන මොහොතෙදිත්
ඔබ ලගමයි මම ඉන්නේ.......

Monday, October 10, 2011

සෙනෙහසේ වියෝවෙන් නෙත පිරුණා රත්තරනේ.......

වැලි කතරේ පොද වැස්සට තෙමුන මට කලකට ඉහත නෙතින් දකින්නට ලැබුන නමුත් තවත් දකින්නට නොපතන දුක්බර සත්‍ය සිදුවීමක් මතක් වුනා යාළුවනේ......ඉතින් මේ ලෑස්ති වෙන්නේ ඔයාලත් එක්ක ඒක බෙදාගන්න කියලා.

මේක වුනේ මීට අවුරුදු තුනකට විතර කලින්..මගේ යාළුවෙක් හිටියා තිවංක කියලා.හරිම හොද එකා.ඉතින් තිවංක අවුරුදු 4 ක් විතර ආදරය කරලා විවාහ වුනා.ජීවිතයේ තමන් පතා ගෙන ආ කෙනාම මට ලැබුනා කියලයි තිවංක හැම වේලේම කිවුවේ..තිලිණි ඒ කියන්නේ තිවංකගේ ආදරණීය බිරිද තිවංක වගේම හිත හොද කෙල්ල..එයා හැම වෙලේම හිතුවේ තමන්ගේ ජීවිතය තිවංක කියලයි.ඔන්න ඔය විදියට මේ දෙන්නගේ ආදර කථාව දිග හැරුණා.ඉතින් කාලයත් එක්ක තිවංකගෙයි තිලිණිගෙයි ජීවිතයට තවත් අළුත් බලාපොරොත්තුවක් එකතු වුනා..ඒ තිලිණි අම්මා කෙනෙක් වෙනවා කියලා දැන ගන්න ලැබුන එක.තිවංක ජීවිතයේ වැඩියෙන්ම සතුටු වුන දවස තමයි එදා.මට ඔය දේ කිවුව මොහොතේ තිවංකගේ ඇස් වල ඒ තිබ්බ ආදරණීය සෙනෙහස තාමත් මට මතකයි.අපි යාළුවෝ හැමෝම එදා තිවංකට සුභ පැතුවා...

ඉතින් කාලය ගෙවී යන්නට වුනා.දවසක් අපිට තිවංක සහ තිලිණි මුහුදු වෙරලේදී මුන ගැසුනා.තිවංක තිලිණිට ගොඩාක් ආදරය කලා.ඉතින් තිලිණිව සතුටින් තියන්න තිවංක හැම ‍වේලේම උත්සාහ ගත්තා.වෛද්‍යවරු කියන නිසාම නොව තිලිණිට තිවංකගේ ආදරය ලගින්ම ඕන මේ කාලේ කියලා තමන් දන්නා නිසා ඔහු ඇයත් එක්ක මුහුදු වෙරළට ආවේ...අපහසුවෙන් ඇවිදින තමන්ගේ ආදර බිරිදව තම උර පත්තට තුරුළු කරන් ඇයගේ බද වටා තම අත වෙලෙමින් සුසිනිදු වැලි කැට මතින් වෙරලේ ඈතට පිය නගිමින් ඉන්නා අපේ සදාදර මිත්‍රයා දුටු අපට ආදරයේ නොනිමි කඩඉම දුටු සේ හැගිනි.

දින කීපයකට පසුව තිවංක අපට කථා කලා.තිලිණිට පුතෙක් ලැබුණා කියන ආරංචියත් අරගෙන.තිවංකගේ සතුට නිම්හිම් නැති බව අපට දැකගන්න ලැබුනේ රෝහලේදී පවා ඔහුගේ නෙතින් නික්මුනු කදුළු කැට අතරේමයි.අපි යන විට ලස්සන චූටි කොලු පැටියෙක් තිලිණිට තුරුල් වෙලා හිටියා.කොල්ලා තිවංක වගේමයි ආයේ ඇරපු අතක් නෑ..දින කීපයකට පස්සේ තිවංකලා රෝහලෙන් නික්මිලා ගෙදර ආවා..ඉතින් තිවංකගෙයි තිලිණිගෙයි අළුත් කැදැල්ල චූටි පැටියත් එක්ක සතුටින් ගතවුනා...


මාස 14 කට පමණ පසු......
හදිසියෙම තිවංක කථා කලා.ඒ හඩේ තිබ්බේ ගොඩාක් දුක්බර බවක්.මම ඇහුවා මොකද කියලා?

“මචං තිලිණිව hospital admit කලා“
“ඒ මොකද තිවංක හදිසියේම?“
“අනේ දන්නේ නෑ මචං.මටත් හිතා ගන්න බෑ මට බයයි බං doctors ලා ගෙන් ඇහුවට මුකුත් කියන්නෙත් නෑ“
“දුක් වෙන්න එපා බං.අපි ඉන්නවනේ,බලමු මොකද කියලා...“

තිවංකගේ හිත එහෙම හැදුවට මට තේරුනා මෙතන ලොකු දෙයක් වෙලා කියලා.ඊට පහුවෙනිදම මමයි යාළුවෙකුයි රෝහලට ගියා.කෙලින්ම ගියේ තිලිණිගේ වෛද්‍යවරයා හොයාගෙන.ඔහු මට පැවසූ දෙයින් මගේ දෑස් නිලංකාර වුනා.

Mr: මේ lady ට brain එකේ cancer එකක්.ඔයා මගෙන් ආයේ ආයේ අහපු නිසයි මම ඔයාට කිවුවේ.ඒත් මම හිතනවා ඔයා මේ ගැන කාටවත් කියන එකක් නෑ කියලා..

ඔහු කියූ දෙවල් මගේ හිසේ නලියන්නට විය.මම කුමක්ද කල යුත්තේ යන්න මටත් නොවැටහිණි. රොගය නිශ්චය කරගත් පසු තිලිණිව රෝහල් ගත කලාය..එදා පටන් තිලිණි රෝහලට වී අදාල ප්‍රතිකාර ලබාගන්නට වුනා....මේ දැනගත් දෙයින් පසුව තිවංකගේත් හැසිරීම පිස්සෙකුට සමාන වුනා...

දින 5 ක් 6 ක් කෙමෙන් ගතවිය. තිවංක සෑම වෙලේම තිලිණි ලගටම වී සිටියේය.අටවන දිනය ගත වත්ම තිලිණිගේ තත්වය එන්න එන්නම නරක අතට හැරිනි.දෙසතියක් අවසානයේ තිලිණි තම සෙනෙහෙබර නවාතැන්පලෙන් සදහටම සමුගත්තේය...සය වසරක තම ආදරය තනි කල ඇය එක් වසරක තම සිගිත්තා පිය තුරුලට බාර කලේ තම පියයුරේ කිර පවා බිලිදාගෙන් ඈත් කරවමිනි.අවමංගල්‍ය කටයුතු සිදු කිරීමට තරම් වත් මානසික තත්වයක් තිවංකට නොතිබිනි.පුතු තෙමේ තුරුළට ගත් හේ තම ආදරණීය බිරිදගේ නිසල දේහය දෙස ඇසිපිය නොහෙලා බලා සිටියේ “හැමදාම ඔයාගෙමයි“ කිවූ ඒ කථාව අද වලංගු නැති බව තේරුම් ගත්තාක් මෙනි.

යහළුවන්ගේ හා දෙමාපිය නෑදෑයින්ගේ සෝ සුසුම් මැද අපේ ආදරණීය යෙහෙළිය තිලිණි අප අතරින් නික්මිය.....

අවමංගල්‍ය කටයුතු අවසාන වීමත් සමග පැමිනි අය නිවෙස් බලා ගියහ..
ගෙදර ඒමට තිවංකගේ නිවසින් ආ මට ආපසු හැරී බලද්දී දැකගත හැකිවූයේ සිගිත්තා තුරුල් කරගෙන පාර දෙම බලා සිටින තිවංකයි.මම ආපසු හැරී ඔහු වෙතට ලං විය...

“තිවංක උඹ ජීවත් වෙන්න ඕන.මොකද තිලිණි උඹට එයා වෙනුවෙන් බලා ගන්න දෙයක් ඉතුරු කරලා ගිහින් තියෙනවා.ඒ කෙල්ල වෙනුවෙන් තිවංක උඹ කොල්ලව හදාගනින්...තිලිණි කොහේ හරි ඉදන් උඹලා දෙන්නා දිහා බලන් ඉදීවි.. “

තිවංකගෙන් සමුගත් මම ගෙදර ඒමට පිටත් විය.
නිවසට ආ මට ජීවිතයේ අරුමය පිලිබද වැටහිනි.තිවංක සහ දරුවාගේ අනාගතය ගැන සිතී මගේ දෙනෙතට කදුළක් ඉනුවේ සහෘදයාගේ දුක හිතට ගොඩක් සමීප බැවිනි.හිතට ගලා ආ ඒ සිතුවිලි ගොන්න අත රැදි කොලයේ පෑන මතින් මම අකුරු කලෙමි..


තනි කරලා ඔබ යන්න ගියත් අපි දෙන්නාව
මට තාම ඇසේ ඔබෙ නැළවිලි ගී හඩ
සිහිවීලා පොඩි පුතු සමගින් ගෙවු අතීතය
නුඹ යන්න ගියේ අපි දා යලි නොඑන ලෝකෙක

ඇයි රත්තරනේ මේ තරම් දුක්කද
මට උහුලන්නට බාර කලේ ජීවත්ව ඉද
පොඩි පුතා අසන කල මාගෙන් අම්මා කොහෙද
මම කියන්නේ නුඹ ඉන්නව කියලා අහසෙ උඩ

හැමවෙලේ සිතෙයි ඔබ සොයා එන්නට
මට එන්නට විදියක් නෑ පුතු තවම මා ලග
අපි දෙන්නම නැතිවී ගියහොත් දරුවාට යන
කල දසාව ගැන හිතලා මම හිදිමි රංකද

Thursday, October 6, 2011

කිමද නිල් නෙතු නෙත් දෑලෙන් සමුගත්තේ...?


මා පාළු හුදෙකලා වූ නිමක් නොපෙනෙනා ගංතෙරක් අසබඩ අනන්තය සේ මාවතක පිය මැන්නෙමි.ඒ යන ගමනේදී විඩාබර මගේ නෙත් ඉදිරියට ආ නුඹේ නෙතු මාගේ සේයා පථයෙන් ඉවත්වන්නට මැලි විය.ඔබේ නෙතින් නික්මුනු ඒ සෙනෙහෙබර ආදර කිරණයන් මා නෙතු මතට ලම්භකව වැටුනා සේ මට හැගිනි.කෙසේ හෝ ඇයගේ දෘෂ්ටි කෝණයට මා නෙත් අවනත විය.ඒ බැල්මේ වශී වූ මා නෙතේ වර්තනාංකය අතිශය ඉහල වූ නිසාමදෝ ඈ නෙතින් නික්මුනු ඒ ආදරණීය කිරණයන් ඇස මතින් හද දක්වාම අපසාරී විය.එය සදාකාලික නවාතැන්පලක් කර ගැනීමට ඒ අහිංසක නෙත් යුගලට හැකි විය.එය හා බැදීමක් ඇති වන්නට මා නෙත් වලට ගත වූයේ නොබෝ කලකි.ආඩම්බරකාර ඒ දෑස් කැල්මට දිනෙන් දින මා ළං විය.කිමක්ද නෙතකි මා හට මේ පවසන දෙය? මා නැවත වරක් ඇයගේ ඒ නෙතු දිහා සෘජුවම බැලීමි.හදවත කිතිකැවී යන්නා සේ මට දැනුනි.මා තව තවත් ඇයට ලං විය.ඇයගේ කළු ඉංගිරියාව තුලින් මට මාගේ ප්‍රතිභිම්බය දිස්වන්නට විය.පුදුමයක අරුම ඈ නෙතු මා හට දැන් කැඩපතක් වී ඇත.මාගේ ජීවිතය ඒ කැඩපතෙන් දිනෙන් දින පෙනෙන්නට විය.ජීවන ගමනේ හැරෙන්නට වූ තැන මම ඒ නෙතින් පාර සොයා ගත්තෙමි.සෑම විටම එය නිවැරදි විය.අහිංසක බලාපොරොත්තු මහ මෙරක් උසට එසැවිනි.

නමුත් නෙතක අරුමය.......

එදා වැසිබර දිනයකි,කන් බිහිරි කරවන තරම් ආකාශ ගිගුරුම් මධ්‍යයේ මා ඇයගේ නෙත් දෙස බැලීමි.එය වෙනදා මෙන් නොව බොදවූ සේ මා හට දිස් විය.මා,මා නෙතු වසා කිහිප වරක් එය දෙස බැලීමි.කිමද වූයේ ඒ නෙතු හට ,වැහි බිංදු ගලා යන්නේ ඒ නෙතු මතින් නිසාමදෝ ඒ කැඩපත අද බොදවී ගොස්ය මා හදේ දුක් ගිනි පුපුරක් පැන නැගිනි.ඇසි දිය නිසාමදෝ එය ක්ෂණයෙන් නිවී ගියේය.ඒ නෙතු මා නෙතින් ඈතට යනු මට හැගුනි..මා එයට කෙසේ ලං වුවත් දිනෙන් දින එය මාගෙන් දුරස් විය.මට දැඩි කාන්සියක් හා පාළුවක් දැනිනි.මා නෙතු වසා ගත්තේ එය දැඩිව විඩාබර හෙයිනි මන්ද යත්,ඔබට ආදරය කරන්නට ඒවා සැමදා ඇරී තිබූ හෙයිනි..ඔය නෙතින් මා රුව සැමදා දුටිමි,ඔබද ඔබ රුව මා නෙතින් දුටු බව මා හොදාකාරවම දනී.අතීතය මතක් වූ හෙයින් ඉවසාගත නොහැකි වූ මා නෙතු වැසී ගියේය....වසාගත් කල්හි දිය බිදු ගොන්නක් ඇසිපිය දිගේ නෙතු අද්දරින් පහළට වැක්කෙරිනි.සැබවින්ම නෙතේ සියල්ල එයින් දියවුනා සේ මට හැගුනි.ඈත ක්ෂිතිජයේ හිරු ගිලී යන්නා සේ...සක්වල ගල පරදන්නට දිය රල ගල් කුළු මත හැපී බිදී යන්නා සේ....කදුළු ගංතෙරක් මා හද මවා,එහි හබල අහිමි තොටියා මා කරවා.......... කිමද නිල් නෙතු ඔබ මගේ නෙත් දෑලෙන් සමුගත්තේ...?

Sunday, October 2, 2011

"ලැබීම සහ නොලැබීම"

ජීවිතේ හැම දේම ලැබිලත් සමහර දේවල් නොලැබී යන්න පුළුවන්.ගොඩක් දේවල් ලැබුනා කියලා හිතුවට එහෙම නෑ නේද? සේරම ලැබුනා කියලා හිතාගෙන හිටපු ගොඩක් අයට ඇත්තටම පස්සේ තමයි තේරෙන්නේ තමන්ට නොලැබුන දේ ගැන.ගෙඩක් අය කියන්නේ මගේ ජීවිතේ 90% ක් නොලැබී ගිහින් කියලා...

මට සැනසෙන්න තරම් දේවල් ටිකක් ලැබිලා තියෙනවා...
මං ආසා කරන කීප දෙනෙක් මට ලැබිලා තියෙනවා...
ඒ නිසා මම සතුටින් ඉන්නේ හරිම තෘප්තියෙන්....
ඔහොම කියන අය හරිම අඩුයි නේද?

අපි බලාපොරොත්තු වෙනම දේ සමහර විට නොලැබෙන්න පුළුවන්..දෙයක් පතද්දී...බලාපොරොත්තු වෙද්දී ඒ දේ ලබා ගන්න කප්පරක් දුක් විදින්නත් කැප වෙන්නත් වුනාට නොහිතන තත්වයකදී ලැබෙන්නෙ නොලැබීම විතරයි.ඒත් මතක තියාගන්න ජීවිතයට ඕන ඔක්කොම දේ නෙමේ.අපි හිතන ඒ සරුවපිත්තල ලෝකෙම නෙමේ..අපිට උවමනා දේ විතරක් ලබා ගන්න උත්සාහ ගන්න.හැබැයි ලොක්කෝ ඒකට ටිකක් කැපවෙන්න ඕන.මොකද බිත්තර කඩන්නේ නැතුව ඔම්ලට් දාන්න බෑනේ...අනික කරගැට දකින්න බැරි මිනිස්සුන්ට GOLD MIDDLE ලැබෙන්නෙත් නෑ...ඒක තමයි ඇත්ත.

අදම අවදිවෙන්න.මේ දැන්ම...අද ඉදලා අපි අළුත් ගේමක් ගහමු.කවුරු නැතත් අපේ හිත අපිත් එක්ක....සියල්ල නැතත් ජීවිතේට ඕන දේවල් ටික ලබා ගනිමු.ඒක තමයි ලැබීම..ඒ ලැබීම ජීවිතය මත උදා කරගන්න ධෛර්යක් නැති කම තමයි නොලැබීම.ජීවිතය ඕන නම් වැඩ කරමු..එතකොට මස්සිනේ අපි ගොඩ....