Saturday, December 10, 2011

කරදිය වලල්ල

ඔන්න යාළුවනේ දේව ඉතිහාසයේ රසබර කතා ටිකක් අරන් ආවා ඔයාලත් එක්ක බෙදා ගන්න...


මහා ශිවදෙවියන්ට හා පාර්වතී මෑණියන්ට හිටියා සුවිශේෂි දරුවන් තුන්දෙනෙක්.මොවුන් සෑම අතින්ම පිරිපුන් අලංකාර රූපකායකින් හෙබි ලස්සන පිරිමි ළමයින් තිදෙනෙක්.ඔවුන් නම් මුරුගන් , ගනේෂ් , අයියාප්පන් ය.ඉතින් දේව ඉතිහාසයේ වැදගත් පරිච්ඡේද කීපයක් මොවුන් අතින් ලියැවුනා.එවන් දරුවන් තිදෙනෙකුගේ වාසනාවන්ත පියෙක් නිසා තමයි අදටත් දරුඵල වෙනුවෙන් බැතිමතුන් ශිව ලිංගයට ගරුබුහුමන් කරන්නේ.

ඉස්සෙල්ලා මේකත් අහගන්නකෝ මුරුගන් කියන්නේ අද අපි කතරගම දෙවියන් කියලා හදුන්වන්නේ අන්න එයාට.ගනේෂ් කියන්නේ අද අපි ගණ දෙවියන් කියලා හදුන්වන කෙනාට.ඉතින් ශිව පාර්වතී එක්ක මේ අය ගොඩාක් කෙලි දොලෙන් කාලය ගත කලා.


ඉතින් දවසක් තම ආදරණීය පුතුන් උකුලෙහි හොවාගෙන ශිව දෙවියන් උද්‍යානයේ අසුන්ගෙන සිටියා.පාර්වතී මෑණීයන්ද පසෙකින් ඉදගෙන සිටියා.ඔන්න ඔය වෙලාවේ ශිව දෙවියන්ට තම පුතුන් දෙදෙනාගේ(අයියාප්පන් සිටියේ නැත) දැනුම මැන බලන්නට සිතුනා.ගණ දෙවියන් තමා මොවුන් දෙදෙනාගෙන් වැඩිමහල් පුත්‍රයා.ඒ කියන්නේ කතරගම දෙවියන්ගේ අයියා.ඔන්න ඉතින් ශිව දෙවියන්
ඔවුන් දෙදෙනා තමා ලගට ගෙන මෙසේ පැවසුවා..

“මාගේ පුත්‍රයනි ! මම දන්නවා නුඹලා සෑම ශිල්පයෙන්ම විශිෂිඨයන් බව..ඉතින් මා දැන් ඉදිරිපත් කරන දෙයට නිසිපිලිතුරක් මට සපයන්න..මෙන්න මෙයයි කාරණය..නුඹලා හැකි ඉක්මනින් කරදිය වලල්ල වටේ රවුමක් ගොස් ඉක්මනින්ම එන්න ඇත්තටම මෙය තරගයක් වනු ඇත.මෙයින් දිනනා තැනැත්තාට ගිතෙල් එක්ක රසවත් ආහාරයක් මෑණියන් විසින් පිලියෙල කර දෙනු ඇත..ගණේෂ් ..මුරුගන් දැන් නුඹලාගේ වාරයයි“

කෙලි සෙල්ලමට බොහෝ කැමති මොවුන් දෙදෙනාට මෙය නැවුම් අත්දැකීමක් විය.

ඉතින් අපි කවුරුත් දන්නවනේ මුරුගන් හෙවත් කතරගම දෙවියන්ගේ වාහනය මොණරා කියලා.ගණ දෙවියන්ගේ වාහනය මීයා.

ඔන්න ඉතින් තාත්තාගේ වචනය කන වැකුනු විගස කතරගම දෙවියන් තමා වාහනය වූ මයුරා පිට නැග කරදිය වලල්ල වටා යන්න පිටත් වුනා.කතරගම දෙවියන් කරදිය වලල්ල කියා අදහසට නගා ගත්තේ මුහුද...ඒ කියන්නේ මහා සාගරය.

ඉතින් ඔන්න තම අයියා යන මග බලා සිටි ගණ දෙවියන්ට විශාල ප්‍රශ්නයක් සිතට නැගුනා..මොකද ඔහුගේ වාහනය මීයා නිසා.මීයා පිට නැග කෙසේ වත් මයුරා පරාජය කරන්නට නොහැකි බය නිතැතින්ම ගණ දෙවිදුන්ගේ සිහිවුනා
කලබල නොවී ටිකක් කල්පනා කලා.
“තාත්තා කිව්වේ කරදිය වලල්ල වටේ එක වටයක් යන්න කියලා නේ“ ඔහුගේ මුවගට සිනාරැල්ලක් නැගුනා.
ඔන්න ඉතින් ගණ දෙවියන්ට තම නුවණ පහල වුනා.

ඔහු වහාම දේව මුළුතැන්ගෙට දිව ගියා..දිව ගොස් තම වාහනය වූ මීයා පිට නැගී ලුණු පොල් කට්ට වටේ ඉතා ඉක්මනින් වටයක් ගමන් කරා...
මේ සිදුවීම් සියල්ලම ශිව දෙවියන් බලා ගෙන සිටියා.තම ආදරණීනය වැඩිමහල් පුතුගේ නුවණ දුටු ඔහුට මහත් සතුටක් සිත තුල පැන නැගුනා.

ඔන්න ඉතින් බොහෝ වේලාවකට පස්සේ ඉතා වෙහෙසින් යුක්තව කතරගම දෙවියන් උද්‍යානය වෙත ලගා වුනා..තම සහොදරයා එහි සිටින බව දුටු ඔහුගේ නෙත් පුදුමයට පත්වුනා.ශිව දෙවියන්ගෙන් ගණේෂ් කල හපන්කම ගැන අසා කතරගම දෙවිදුද ප්‍රීතියට පත්වුනා.
ගණ දෙවිදුන් තමන්ට ලැබුන ගිතෙල් බත්පත අයියන්ඩිලා දෙදෙනා එක්ක බෙදාගෙන කන්නත් අමතක කලේ නෑ.

ඉතින් බලන්න යාළුවනේ ගණ දෙවියන්ගේ නුවණ.අදත් මිනිස්සු නුවණට අධිපති දෙවිදු වශවෙන් සලකන්නේ ගණ දෙවියන්.අධ්‍යාපන කටයුතු වලදී ගණ දෙවි වන්දනාමාන වැඩිපුර කරන්නේ ඒ හේතුව නිසයි.

3 comments:

  1. Nice story..Keep it up..

    ReplyDelete
  2. tnx dr.....!! වැහි පොදත් එක්ක එකතු වුනාට.....

    ReplyDelete
  3. සහෝ, ඔයාගේ ලිපි දැන් නැද්ද??
    ඔයාට පිං මේවගේ නොදන්න දේවල් අපට ලියනවට. නමෝ බුද්ධාය!!

    ReplyDelete

මතක සටහනක් අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා........